2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ලියුම් බැහැ

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 671

බස්නාහිර පළාතේ අකුරැ 4ක නමක් කියන දිස්ත්‍රික්කෙකින් වැඩිම මනාප අරන් කවුන්සිලේට පත්වුණ රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව.

හැබැයි උන්නැහේ අනුගමනය කරන සමහර ප්‍රතිපත්ති නිසා පොහොට්ටුවේ පාක්ෂික හිතවතුන් පවා දැන් උන්නැහේ ගැන ඒ හැටි හොඳක් කියන බව අපට ඇහෙන්නෙ නැහැ...

තමන්ට ඡන්දෙ කාලෙ බඩ බැඳගෙන වැඩකරපු පක්ෂයෙ ප්‍රබලයො තමන්ගෙ අවශ්‍යතාවකට කිසියම් ලියුමක් එයාගෙන් ඉල්ලුවම කවදාවත් ඒ ලියුමට ඇමැති තැන අත්සන් කරන්නෙ නැතිලු... ඒ විදියෙ ලියුම් අත්සන් කරන්න පත්කරපු එක්තරා නිලධාරියෙක්ලු ඇමැති වෙනුවට ලියුම් කියුම් අත්සන් කරන්නෙ.

පසුගිය ඡන්දෙදි උන්නැහේට හුඟක් සල්ලි වියදම් කළ පළාතෙ එක්තරා ප්‍රාදේශීය දේශපාලකතුමෙක්ගෙ අවශ්‍යතාවකට ලියුමක් ඉල්ලුවත් කළේ ඒ ටිකමලු...

කොහොම හරි ඇමැති ලේකම්ගෙ ලියුම අරන් අවශ්‍ය වැඩේ කරගන්න ගියාම නිසි බලධාරීන් ලේකම්ගෙ ලියුම කුණු කූඩෙට දාල වැඩේ කෙරෙන්න ඕන නම් ඇමැතිගෙන් ලියුමක් ගේන්න කිව්වලු. නමුත් ඇමැති කාටවත් ලියුම් නොදෙන නිසා අසරණ වුණු ප්‍රාදේශීය දේශපාලකතුමා පළාතෙ ඉන්න තවත් ප්‍රබල රණකාමී ඇමැති කෙනෙක් ළඟට ගිහිල්ල තමන්ගෙ වුවමනාව කිව්වලු.... එතකොට රණකාමී ඇමැති තැන ඡන්දෙ කාලෙ තමන්ට වැඩ නොකළ මේ ප්‍රාදේශීය දේශපාලකතුමාට හොඳටම දෙහි කපල වැඩකරපු එකාගෙන් ලියුම් ඉල්ලගනින් කියල බැනල පන්න ගත්තලු.
දැන් මේ මනුස්සය අසරණවෙලා තමන් වැඩකරපු රාජ්‍ය ඇමැති තැනට හතර අතේ බණින්නෙ ආයෙ උන්දැ (ගොඩ) යනවා බොරු කියමින්ලු.