2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

අවුලකට මුලපිරේ

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 809

ඈත පළාතකින් කරළියට ඇවිත් පෙරළියක් කළ එක්තරා දේශපාලන නායකයෙක් දැන් ඉන්නෙ ආණ්ඩුවෙ හවුල්කාර පක්ෂයක් නියෝජනය කරමින්.

කලක් රටේ ලොකු පුටුවල හිටපු උන්නැහේ දැන් ඉන්නෙ පොඩි පුටුවකලු... ඒ හින්ද සෑහෙන හිතේ අමාරුවකුත් තිබෙන බවයි පේන්නෙ...

පසුගියදාක තමන්ගෙ ගම් පළාතෙ ඉන්න පක්ෂ කස්ටිය පළාතෙ සුප්‍රකට මලක නමක් තිබෙන හෝටලයකට කැඳවල තිබුණා.. එහෙම කැඳවල තිබුණේ තරුණයන්ගේ සම්මේලනේ ලොකු පුටුවට සුදුස්සෙක් පත් කරන්නලු...

ඒ රුස්වීමෙදි මේ දේශපාලන ලොක්ක බරසාර කතාවක් කළා. ඒක පටන් ගත්ත තැන ඉඳල අවසානය දක්වාම තිබුණෙ තමන් ඉන්න ආණ්ඩුවට කරපු දෝෂාරෝපණයක් බව එතන හිටපු අය කියනව.

රට පාලනය කරන කස්ටිය හැමදාම තමන්ටත් තමන් කළ සංවර්ධන වැඩවලටත් හිරිහැර කළාලු. අදටත් ඒක නැවතිලා නැතිලු. ඒ පළාතට හරක් ගෙනාවෙත් රුහුණෙන් කියල කීව බවයි ආරංචි.

තමන් අවුරුදු දෙකක් විතර මේ හුටපට ඉවසගෙන හිටියත් දැන් රතු කට්ට පනින තැනට ඇවිල්ලය කියලත් කීව.. ඒ හින්ද තමන්ගෙ පාටිය සංවිධානය කරල අලුත් වැඩක් කරන බවත් ඒක පටන් ගන්න කලින් හොඳ දේශපාලන බෝම්බ පත්තුවෙන්න ඉඩ තිබෙන බවත් උන්නැහේ කිව්වලු...

කොහොම නමුත් එතන සිදුවෙච්ච මේ සැර දේශනාව ජංගම දුරකතනයකින් පටිගත කරපු කෙනෙක් ආණ්ඩුවෙ ඉහළම තැන්වලට ඒක දීල.. ආණ්ඩුවෙ කස්ටිය ඒකට සවන්දීල ඒකට සුදුසු පියවර ගන්න ලෑස්ති වෙනවය කියලත් ආරංචියි...