2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

තෑග්ගට කොක්කක්

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 609

සින්දුවෙන් මේ රට විතරක් නොවේ භාරතයත් නලවපු තරුණ ගායිකාවට ආණ්ඩුවෙන් තෑග්ගක් දෙන්න තීන්දු කළේ රටේ දෙවැනි මහත්තය ප්‍රමුඛ මැති ඇමැති කස්ටිය. රටේ ලොකු මහත්තයත් ඒකට අකැමැත්තක් තිබුණෙ නැහැ...

රටේ ලොකු මහත්තය මේ තරුණියට නිවෙසට එන්න කියලත් ගී රස වින්ඳ බව රටම දැක්ක...

තරැණියගෙ පියාත් රට නිදහස් කර ගැනීමෙ සටනෙ ඉහළින්ම හිටපු රණවිරුවෙක් බව හැමෝම දන්නව... 

කොහොම හරි රටේ නම ලෝකයට ගෙනිච්ච මේ තරුණියට නිවෙසක් තෑගි දෙන්නයි රටේ දෙවැනි මහත්තය ප්‍රමුඛ මැති ඇමැති ගොල්ල සැලසුම් කළේ...

රජයේ ගෙවල් භාර අමාත්‍යංශය තිබෙන්නෙත් දෙවැනි මහත්තය යටතෙ නිසා අවශ්‍ය කරන පියවර ගන්න කියල උන්නැහේම බලධාරීන්ට නියම කළා...

ඒත් වැඩේ කිව්ව විදිහට කෙරුණෙ නැහැල්ලු... පස්සෙ ඒක ගැන දෙවැනි මහත්තයගෙ කන්තෝරුවෙන් සොයල බැලුව... එතකොට විෂය භාර අමාත්‍යංශයෙ ඉන්න ලොක්කෙක් කිව්ව ඉහළ නියෝගයකින් මේ තෑග්ග නවත්තලය කියල. පස්සෙ ඒක එහෙම වෙන්නෙ කොහොමද.. රටේ ලොකු මහත්තයත් මේ තරුණියට ස්තූති කරල ප්‍රශංසා කළා නේද කියල දැනුම් දීල කාරණා කාරණා සොයල බැලුව...

මෙහෙම කරුණු සොයාගෙන යනකොට දෙවැනි මහත්තයට ආරංචි වුණේ මේ තෑග්ග නැවතිලා තියෙන්නෙ ආණ්ඩුවෙ ඉහළ ඉන්න කලක් කාකි සූට් ඇඳල දැන් ඉහළ පට්ටම් දරන දෙතුන් දෙනකුගෙ වුවමනාවට බවයි...

තරුණියගෙ පියත් උන්නැහේලගෙ සමකාලීනයෙක් වුණත් ඒ අයගෙ දේශපාලන අදහස් උදහස්වලට දැන් ආණ්ඩුවෙ ඉන්න උදවියගෙ තියෙන අප්‍රසන්න බව නිසා තෑග්ග ගැන මේ තීන්දුව ගන්න හැදුව කියලත් සමහරු කියනව.

කොහොම වුණත් මේ ජනප්‍රිය තරුණියගෙ පියා එක්ක කලක් විරසකව හිටපු මැතිසබේ ඉන්න ෆොනී තුමා පවා ඇයට ප්‍රශංසා කරද්දි ආණ්ඩුවෙ සමහර පට්ටම් ධාරීන් මෙහෙම කරන එක ගැන පුදුමයි කියල දන්න කියන අය කියනව...
ඒ එක්කම තරුණියට තෑග්ගක් දෙන්න ගත්ත තීන්දුව කිසිසේත්ම වෙනස් නොකරන්න දෙවැනි මහත්තය තද තීන්දුවක් අරන් කියලයි තතු දත් අය කියන්නෙ...