2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

සිග්නල් ප්‍රශ්නයක්

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 524

වැලිකඩ මහඋළුගෙදර නවත්තල ඉන්න දේශපාලුතුමන් කිහිප දෙනාගෙන් එක් කෙනෙකුට පහසුකම් තියෙන කාමරයක් දෙන්න කියල දියවන්නා කවුන්සිලේදී වාර ගණනාවක් එයාගේ හිතවතුන් ඝෝෂා කළා...

උන්නැහේට ටොයිලට් යෑමට සුදුසු තැනක් එක්ක රැඳවුම් කුටියක් ලබාදෙන්න කියලයි මේ ඝෝෂා කළ අය ඉල්ලුවෙ. මේ සද්ද බද්ද නිසා කරුණාව පහළ වෙච්ච බලධාරියො තීන්දු කළා උන්නැහේට ටොයිලට් පහසුකම් ඇති කුටියක් ලබාදෙන්න... ඊළඟට ඒක එයාට දැන්නුවලු...

ඒත් උන්නැහේ ඒක එපා කියල තරයේම ප්‍රතික්ෂේප කළා කියලයි ආරංචි. එයා තමන්ගේ තීරණය කියන ගමන් බලධාරින්ට කියල තිබ්බෙ තමන්ට අලුත් කුටියක් නැතුවට කමක් නැහැ. දැන් ඉන්න සිරකුටියෙ දොරවල් යන්න එන්න පුළුවන් විදියට ඇරල තිබ්බොත් හොඳයි කියලලු...

මහඋළුගෙදර ඒ විදියට සිර කුටිවල දොරවල් ඇරල තියන්න අමාරු නිසා ඒ ඉල්ලීම ඉටුවුණේ නැහැ. ඒත් බලධාරියො එයාට නැවත කිව්වෙ ටොයිලට් තියෙන කුටියට යන්න කියලලු. නමුත් උන්නැහේ ඒකට සතුටුම නැතිලු.

මේ බව ඉහළට වාර්තා කළාම මෙහෙම වෙන්න හේතුව සොයල බැලුව... එතකොටයි කාරණාව හෙළිදරව් වුණේ. අලුතින් යන කුටියෙ කොතරම් පහසුකම් තිබුණත් එතැන මොබයිල් ෆෝන්වලට සිග්නල් නැතිලු. දැන් ඉන්න කුටියෙ එහෙම අවුලක් නැතිලු. ඒ නිසා තමයිලු උන්නැහේ එතනම ටැග්ගැහෙන්න බලන්නෙ. ඒ් කොහොම වුණත් ගිය සුමානෙ උන්නැහේ අපේක්ෂා නොකළ විදියට නිදහස හම්බ වුනා. දැන් ඒ සිග්නල් ප්‍රශ්නෙත් ඉවරයිලු.