2021 අප්‍රේල් 11 වන ඉරිදා

මම ලොක්කා, මට සර් කියන්න!

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:39 739

අපි මේ කියන්නෙ අඩු වයසින් උඩරට පැත්තෙ දේශපාලන පක්ෂයක නායකත්වයට පත්වූ තරුණ ඇමැති සයිස් මහත්තයෙක් ගැන. ඇමැති කිව්වට එයා තාම රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක්ලු...

පිය උරුමෙන් අහම්බෙන් වගේ මේ තරුණයා පක්ෂ නායකත්වයට කඩාපාත්වුණා... එතකන් උන්නැහේ මේ පක්ෂයේ පොඩි මල්ලි කෙනෙක් හැටියටයි සැලකුවෙ...

ඒ නිසා පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයොන්ට මෙයා තාම “පොඩියෙන්” කෙනෙක්. ඉතින් අලුතින් ලැබුණ තනතුරුත් එක්ක මුන්නැහේට ජ්‍යෙෂ්ඨයො විතරක් නෙවේ පක්ෂයේ පැරණි සාමාජිකයොත් නිසි විදියට ගෞරව කරන්නෙ නැහැ කියල එයා ටිකක් හිතේ අමාරුවෙන් හිටිය...

එහෙම ටික දවසක් ඉඳල බැරි තැන එයා පක්ෂයේ ලොකු ලොක්කන්ගෙ ඉඳල පොඩ්ඩන්ටත් බලපවත්වන පරිදි අලුත් නීතියක් දැම්ම. ඒ අනුව පක්ෂයෙ හැමෝම එයාට “සර්” කියල කතා කරන්න නියෝගයක් ලැබුණ. ඒ වගේම මෙයා එනකොට කවුරු හරි අසුන්ගෙන හිටිය නම් එයා නැගිටින්න ඕන කියලත් නියෝග කළා....

එහෙම නියෝග කරල තියෙද්දි දවසක් මේ තරුණ පක්ෂ නායකයගෙ සීයටත් (ඔහු පක්ෂ නායකයෙක්) ඔහුගේ පියාටත් (හිටපු පක්ෂ නායක) රියැදුරු ලෙස සේවය කළ පැරුණි ජ්‍යෙෂ්ඨ සේවකයෙක් දවසක් පක්ෂ කාර්යාලයට ආවා.

ඇවිල්ල සුපුරුදු ලෙස අසුන් අරගෙන ඉන්නකොට පක්ෂනායක තරුණය ආවා...

ඒත් මේ පරම්පරා දෙකකට සේවය කරපු ජ්‍යෙෂ්ඨ සේවකයා නැගිට්ටෙවත් සර් කියල කිව්වෙවත් නැහැ...

ඒ නිසා පක්ෂ නායක තරුණයට යකා නැග්ග... අන්තිමට එයා අර පැරණි පවුලේ සේවකයට කතාකරල මෙහෙම නියෝග කළා.

“මීට පස්සෙ මම එනකොට වාඩිවෙලා ඉන්න බැහැ. නැගිටින්න ඕන... ඔය අයියා මල්ලී කතා බැහැ. සර් කියන්න ඕන... හරිද...”

“හොඳයි සර්” කියල ඒ නියෝගය පිළිගත්ත සේවකය යන්න ගියා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00