2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

හතර මායිමේ එන්න එපාලු

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1178

රට රස්සා දෙපාර්තමේන්තුව භාර රාජ්‍ය මට්ටමේ ඇමැති තැන සාකච්ඡාවකදී කළ කතාවකුත් හොරෙන් පටිගත කරන්න ගිහිල්ලා ලොකු හුටපටයක් සිද්ධ වුණ බව ප්‍රසිද්ධයි.

මේ විදිහට කතාව පටිගත කරන්න නිලධාරියකුට නියෝග ලබා දුන්නේ විෂය භාර කැබිනට් අමාත්‍යංශයක එක්තරා ඉහළ මට්ටමේ ඔපිසර් කෙනෙක් කියලයි ආරංචි වුණේ...

කොහොම නමුත් තමන්ට ගැසට් මගින් පවරලා තිබෙන විෂයකට වෙන අය හොට දැමීම ගැන මල පැනපු රාජ්‍ය මට්ටමේ ඇමැති තැන මේ නියෝගය දුන්න නිලධාරී තැනට දුරකතන ඇමතුමක් අරන් අම්බානෙක දෙහි කැපුවලු. උන්නැහේ එතනදි කියූ වචන මෙතන ලියන්නත් බැහැ..

ඊටපස්සේ වැඩේ දුරදිග ගිහිල්ලා රටේ දෙවැනි මහත්තයටත් මේකෙ පැමිණිල්ල ඉදිරිපත් වුණා. මේ අතරේ ඔය කියන අමාත්‍යංශයේ ලොකුම ලියන මහත්තයා මේ ගැන කරුණු කරණා පැහැදිලි කරන්න රාජ්‍ය මට්ටමේ ඇමැති තැන හමුවෙන්න ට්‍රයි කළාලු.

එතකොටත් කේන්තියෙන් හිටපු රාජ්‍ය මට්ටමේ ඇමැති තැන හතර මායිමේ එන්න එපා කියලා නියෝග කළ බවයි ආරංචි.