2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

මට වුණු වැඩක්!

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 1016

මහ ඡන්දෙදි ගොඩයන්න හිතාගෙන පක්ෂ මාරු කරපු සමහරුන්ට ආණ්ඩුවෙ තනතුරු ලබාදීම රටේ ලොකු මහත්තය කළේ නැහැ...

ඒ හින්ද පුටුවෙන් බැහැලා අලියා පිට නැග්ග සමහරැන්ට සිද්ධ වුණේ ලෝකනාථ වැඩක්. ඒත් ඉතින් අලි පාටියෙ අය මේගොල්ලො සනසන්න අධීක්ෂණ වැඩ දුන්න... කලින් කැබිනට් පට්ටම් දරාපු තැන්වලටමයි උන්නැහේල පත් කළේ... ඒක හරියට මහමුදලිතුමා වෙල්විදානෙ කළා වගේ වැඩක්... ඒත් ඉතින් මොනවා කරන්නද..?

කොහොමහරි මේ විදියෙ අධීක්ෂණ පට්ටමක් ගත්ත ඌව පැත්තෙ කටකාරයෙක් පසුගියදා තමන් පත්කොරපු ඇමැති කන්තෝරැවට ගියා... ඉතින් උන්නැහේගෙ පට්ටම අධීක්ෂණේ හින්ද කලින් එයා ඇමැතිකම් කොරපු තැන වුණත් මේතුමාට කිසිම පිළිගැනීමක් තිබුණෙ නැතිලු.

මහ මුහුද වගේම ගොවිතැන් බත් ආදිය ගැනත් බලන අලි පාටියෙ රජරට හැරී තමයි මෙතන විෂය භාර ලොක්ක... ඉතින් අධීක්ෂණේට ආපු පට්ටම නොමැති හිටපු ඇමැති තැනට ඉන්න තැනක්වත් නැති නිසා උන්නැහේ කැබිනට් සගයගෙ කන්තෝරැවෙ දොර අරවගෙන ඒක ඇතුළට රිංගල ඇමැති පුටුවේ අසුන් ගත්තා...

එහෙම අසුන් අරගෙන ටිකක් එකල මෙකල වෙනකොට ඔන්න බොලේ මිනිස්ට්‍රියෙ අලි සේවක සංගම්වල උදවිය ඇවිත් ඇමැති පුටුවෙ අරක්ගෙන ඉන්න අධීක්ෂකට ගෝරණාඩු කොරන්න ගත්තලු... හූවකුත් ආවා.. සෙනඟ පිරිලා විරෝධය සැරට එනකොට කටකාර අධීක්ෂකගෙ කට වැහුණ. හූ හඬ මධ්‍යයේම එයා පස්ස දොරෙන් මාරු වුණේ අනේ අප්පොච්චියේ මට වුණු වැඩක් කිය කියාලු.