2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

අපූරු තෑග්ග

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 379

රටේ ලොකු මහත්තයා පහුගියදාක කොළඹ තියන ප්‍රධාන පෙළේ ජාතික පාසලක 50 වැනි සංවත්සරේට සහභාගි වුණා.
ජාතියේ පියාගෙ නම සිහිපත් වන මෙම පාසලේ උගත් දැන් කවුන්සිලේ ඉන්න මහත්තුරුන්ටත් උත්සවේට ආරාධනා ලැබිලා තිබුණා. ආණ්ඩුවෙ විතරක් නොවේ විපක්ෂයෙ කවුන්සිල් මහත්තුරැත් ඒ අතරෙ හිටියයි කියමුකො.
මේ අය අතරෙ ලොකු මහත්තයා පිටිපස්සෙ ආසනේ උන්නැහේ කිට්ටුවම අසුන්ගෙන හිටියෙ ඒකාබද්දෙ ඉඳන් ආණ්ඩුවට නිතරම දෙහි කපන උදය උන්නැහේලු...

උත්සවේ පටන් අරන් ටික වෙලාවකින් සංවත්සරේ වෙනුවෙන් නිකුත් කළ මුල් දින කවරේ සීල් තියලා පළමු කොපිය රටේ ලොකු මහත්තයට පිරිනැමුවා...
ඒක අතට ගත්ත ලොකු මහත්තයා මොහොතක් ඒ දිහා බලල එකපාරටම පිටිපස්සට හැරැණා. එතකොට උන්නැහේ දැක්කෙ ළඟම ඉන්න උදයතුමා. ඒ පාර ලොකු මහත්තය...
තමුන්නාන්සෙට මාව මතක් වෙන්න මේක තියාගන්න... හොඳ සිහිවටනයක්...* කියලා තමන් අතේ තිබුණ මුල් දින කවරෙ උදයතුමාට දුන්නලු...

මේ වැඩේ බලාගෙන හිටිය උදයට අල්ලපු අසුනෙ හිටිය මන්තිරි මුජිබර්තුමා එකපාරටම මෙහෙම කව්වා...
සර් අමුතුවෙන් ඔබතුමා මතක්වෙන්න දෙයක් නැහැ... මෙයා යන හැම වේදිකාවෙදිම සර් නම් නිතරම මතක් කරනවා...

හැම වේදිකාවෙම සැරට ආණ්ඩුව විවේචනේ කරන උදයතුමා ගැන කියපු ඒ කතාවට හැමෝටම හිනා ගියා... ඊට පස්සෙ කවුරුත් නිහඬ වුණා.