2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මහ ඇමැතිගෙ වර්ජනේ

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 308

ගතවුණ සති අන්තෙ රටේ ලොකු මහත්තය පළාත් මහ ඇමැති සයිස් අයගෙ සුහද හමුවක් කැදෙව්ව...

ඒක කැඳව්වෙ පළාත් සභා ඡන්ද කල් දමන්න ගේන විසිවැනි සංශෝධනේ පළාත් සභාවලින් සම්මත කරගන්න මහ ඇමැති සහය ලබාගන්නයි. රාත්‍රී භෝජන සංග්‍රහයක් එක්ක සංවිධානෙ කරල තිබුණ මෙම හමුවට එන්න කියල ආරාධනා කරපු උතුරේ මහ ඇමැති තැන ඒකට සහභාගි වුණේ නැතිලු... ආවෙ ආණ්ඩුකාර උන්නැහේ පමණලු... 

මහ ඇමැති තැන එන්නෙ නැහැ කියලා දැනගත්තම උන්නැහේට එන්න කියන්න ලොකු මහත්තය දුරකතන ඇමැතුමක් ගත්තත් මහ ඇමැති තැන ඒකට උත්තර දෙන්න ඇවිල්ලත් නැහැ. ඒ පාර උන්නැහේ නැතුව රාත්‍රී භෝජනය තිබිලා... ඊට පස්සෙ වගකිවයුතු අය සොයල බලල තියනව උතුරේ ලොක්ක මේ හමුව වර්ජනේ කළේ ඇයි කියලා... අන්තිමේදි දැනගන්න ලැබුණෙ පළාත් ඡන්ද කල් දාන්න ආණ්ඩුව කරන සංශෝධනයට සහය දෙන්න එයාලගෙ පක්ෂය තීන්දු කළත් වෙනම දේශපාලන ගමනකට සැරසෙන මහ ඇමැති තැනත් උන්නැහේගෙ ගෝල බාලයොත් මේ සංශෝධනය පරද්දන්න තිරය පිටුපස ලොකු වැඩසටහනක් දියත් කරපු නිසා භෝජන සංග්‍රහය වර්ජනේ කරපු බවයි.

පළාත් සභාවලින් මේ විදිහට සංශෝධනය පරාද වුණොත් පළාත් ඡන්ද කල් දැමීමේ වැඩසටහන හබක් වෙන්න පුළුවන් කියල තතු දත් අය කියනවා.