2025 ජුලි 12 වන සෙනසුරාදා

කැසිනෝ වාසනාවන්තයකු වූ හිටපු විනිසුරු

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 3939

පහුගිය දවසක කොළඹ තියෙන ලොකුම කැසිනෝ ශාලාවකට ක්‍රීඩා කරන්න ආපු එක්තරා විශේෂ පුද්ගලයකුට දැවැන්ත කැසිනෝ වාසනාවක් උදා වුණා.

එක රැයක පැය කිහිපයක් තුළ උන්නැහේ දිනුව තෑග්ග ඉතාම දැවැන්ත තෑග්ගක්.
කොළඹ ඉන්න කිසිම කැසිනෝ ඔස්තාර් කෙනකුට මෙච්චර කාලෙකට දිනාගන්න බැරිවුණු තරම් ලොකු තෑග්ගක්ලු‍ එයාගේ තෑග්ග. ගණනින් කිව්වොත් රුපියල් මිලියන 80ක්.

ඉතින් ඉඳලා හිටල මේ කැසිනෝ ශාලාවට එන මෙයා නිතර ලොකු තෑගි දිනුවත් මෙච්චර ලොකු තෑග්ගක් කිසිම දවසක දිනුවේ නැතිලු‍. අන්තිමට මෙයා ගැන හැමෝම හොයන්න පටන් ගත්තා කවුද මේ කියලා. එතකොට දැනගන්න ලැබුණේ උන්නැහේ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි කොළඹ හිටපු ලොකුම විනිශ්චයකාරවරයෙක් කියලා.

දැනට කාලෙකට ඉස්සර එක්තරා විශේෂ දවසක ආන්දෝලනාත්මක නඩුවක් අහලා විත්තිකරු නිදහස් කිරීමෙන් මෙතුමාට පස්සේ ලොකු ලෙඩක් වැටුණා. ඒ අල්ල පනල්ලේ එයා ලංකාවෙන් පිටත් වෙලා පිටරටකට ගියා. ගිහිල්ලා ටික කලක් ඉඳලා නැවත ලංකාවට ආවා. මේ වාසනාව උදා වුණේ එහෙම ඇවිල්ලා ඉන්නකොටලු‍. කොහොම නමුත් වැඩි ප්‍රසිද්ධියක් නැතුව ඉන්න මුන්නැහේ ඉහළම වාසනාවන්තයෙක් කියලයි තතු දත් අය කියන්නේ.