2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

හතරබීරි කතාවක්

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 484

ඡන්දයක් කිට්ටු වෙනකොට සමාජ මාධ්‍ය කස්ටියට බරසාරෙට වැඩ ලැබෙනව.. විශේෂයෙන් මුහුණු පොතේ වගේම යූටියුබයේ විවිධ සෙල්ලම් දාන අයටයි මේ වැඩ ලැබෙන්නෙ.

ඉතින් දේශපාලන පක්ෂ විසිනුත් මේ අයගෙන් විවිධ සේවාවල් ලබාගන්නෙ මුදල් හදල් ගෙවලයි.

පසුගිය දවසක මේ රටේ දැනට තිබෙන ප්‍රධානම පක්ෂයකට සමාජ මාධ්‍යයෙන් සේවාවක් ලබාගන්න ඕනෙ වෙලා මේ කණ්ඩායම්වල ඉන්න ප්‍රධානීන් කිහිප දෙනකුට කතා කරල තමන්ගෙ වුවමනාව දැනුම් දුන්න. අවශ්‍ය කරන ගාස්තු ගැනත් කතාබහ කළා කියමුකො...

එතකොට ඒ කස්ටිය කිව්ව මේ දවස්වල නම් අපි අහවල් පක්ෂය එක්ක වැඩ කරන්නෙ මාර්තු මාසෙ ඉවර වෙනකම් මුකුත්ම වැඩක් භාරගන්න බැහැ කියල... ඊටපස්සෙ ප්‍රශ්න කරපු පක්ෂ නායකය ඇහුව එයාල ප්‍රසිද්ධියේ නම් කියන්නෙ අපට මුදල් නැහැ දුප්පත් පක්ෂයක් කියලයි... ඒත් ඕවට ගෙවන්න සල්ලි තියෙනව කියල..

එයා එහෙම කිව්වම සමාජ මාධ්‍ය කස්ටිය මුකුත් කිව්වෙ නැහැල්ලු. ඒත් අර පක්ෂ ලොක්ක මේ කතාව ගැන තමන්ගෙ ක්‍රමේට සීඅයිඩී පාරක් දැම්මලු. 

එතකොට දැනගන්න ලැබුණෙ පුදුමසහගත තොරතුරක්ලු. මේ ආණ්ඩු විරෝධී පක්ෂයෙ සමාජ ජාලා මෙහෙයුමට ගෙවීම් කරන්නෙ ආණ්ඩුවෙ බලවත්ම තැනකින් කියලයි. මේක හතරබීරි කතාවක් නිසා මේ ගැන ඔය කියන පක්ෂය විසින් දැන් ලොකු විමර්ශනයක් පටන් අරන් කියලත් ආරංචියි...