2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

ඇමැතිතුමා සහ ලියන මහත්තයා

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 507

මේ දවස්වල ජනතාවට අත්‍යවශ්‍යම සේවාවක් සපයන ක්ෂේත්‍රයක් භාර අමාත්‍යංශයෙ ලොකුම ලියන මහත්තයෙක් ඉන්නව. උන්නැහේ රටේ ඉහළම තැන්වලටත් ටිකක් කිට්ටු කෙනෙක් කියලයි ආරංචි...

ඉහළට කිට්ටු නිසා හොඳ රැකියා පසුබිමක් තියෙන කාකි සූට්ධාරී මේ ලියන මහත්තය විෂය භාරව ඉන්න දේශපාලන ලොක්කො වුණත් ඒ හැටි ගණන් ගන්නෙ නැහැ කියලයි ආරංචි... ඒත් ළඟදි සිද්ධ වෙච්ච මැති ඇමැති පුටු මාරුවෙදි මේ ඇමැති අංශෙ භාරව හිටපු කෙනා වෙනත් තැනකට පත්වුණා... හිටපු කෙනාට වඩා දේශපාලන වශයෙන් තෙම්පරාදු වෙච්ච කෙනෙක් තමයි විෂය භාර ලොක්ක හැටියට ආවෙ... කලින් මේ විෂය භාරව හිටපු කෙනා කියන සමහර දේවල් පවා එතන ලියන මහත්තය නොකරන නිසා කලකිරීමෙන් හිටපු ඇමැති සයිස් කෙනා මාරැවෙලා ගියා කියලත් සමහරු කියනව.

කොහොම නමුත් අලුතෙන් ආපු ඇමැති සයිස් මහත්තය තමන්ගෙ අමාත්‍යංශයෙ කටයුතු කළින්ට වඩා පාලනයක් ඇතුව පවත්වාගෙන යන්න උත්සාහ කරමින් ඉන්න වග දැනගන්න තියෙනව.

ඒ අල්ල පනල්ලෙ ඇමැති තැන තමන්ගෙ ඇමැති අංසෙ ලොකු නිලමෙලගෙ රැස්වීමක් දැම්ම වැදගත් කරුණු ගැන සාකච්ඡාවකට... ඒ ගැන ලියන මහත්තයට දැනුම් දුන්නම උන්නැහේ කිව්ව තමන්ට වෙනත් යොදාගත් රැස්වීමක් තිබෙන නිසා රැස්වීම කල්දාමු කියලා. මේක අහපු ඇමැති තැනට මල පැන්නා.... එයා ලියන මහත්තයා ගෙන්නලා ඇහුව ඔය කියන වැදගත් වැඩේ රටේ ලොකු මහත්තය හෝ දෙවැනි මහත්තය දාපු එකක්ද කියල. ලියන මහත්තය නැහැ කිව්ව. එතකොට කේන්තියෙන් හිටපු ඇමැති මෙහෙම කිව්වා...

“මෙතන රැස්වීම් තියන්න වෙලාව දෙන්නෙ ඇමැති හැටියට මම. රටේ ලොකු මහත්තය හෝ දෙවැනි මහත්තය හදිසියේ කැඳෙව්වොත් හැර වෙනත් කිසිම හේතුවක් නිසා මගේ රැස්වීම මම කල්දාන්නෙ නැහැ. අනික ඔහේගෙන් වෙලාවල් අරන් මම රැස්වීම් තියන්නෙත් නැහැ. මමයි මෙතැන විෂය භාර. ඒ නිසා වෙලාව දෙන්නෙ මමයි. ජනතාවට වග කියන්නෙත් මම. ඒ නිසා මම කියන වෙලාවට තමුන් රැස්වීමට එන්න ඕන... එච්චරයි.”

රැවුල්කාර ඇමැති තැන කේන්තියෙන් මේ කතාව කිව්වම කාකිසූට්ධාරී ලේකම් තැන නිහඬව යන්න ගියාලු.... මේ කතාව අපට ඇහුණෙ මැතිසබා ලොබියෙ සිද්ධවෙන රසකතා අඩපැයේදියි.

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00