2021 මැයි 08 වන සෙනසුරාදා

අමුතු සම්මන්ත්‍රණ

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 705

රටේ හිටපු ලොකු මහත්තයකුගෙ හාල්වලට හිමිකම් කියන සහෝදරයෙක් මේ දවස්වල රටේ ජනතාවට එයාගේ ජීවිතේ පාඩම් කියාදෙනවලු එක එක විදිහට. සම්මන්ත්‍රණවලින් පටන් ගත්ත වැඩේ දැන් මුහුණු පොතෙනුත් කරනවා කියලයි ආරංචිය. එයාගෙ මේ වැඩසටහනේ ජනප්‍රියකම ගැන අලි පාටියෙ ලොකු මහත්තයත් අගැයීමක් කරල තිබුණලු. එකපාරටම එයාගේ ජීවිතේ අත්දැකීම් කියන්න ගත්ත එක ගැන කට්ටිය ටිකක් විපරම් කරලා බැලුවලු. එහෙම බලද්දිලු ආරංචි වුණේ එයා මේ ඡන්දයක් බලාගෙන තමයි මේ වැඩේ කරන්නේ කියලා.

කොහොම වුණත් ඒ ඡන්දය මොකක්ද කියලා කවුරැවත් දන්නේ නෑ. එයා එයාගේ දුක දිනා ජයගත් ජීවිතේ ගැන ගොඩක් අය ආසාවෙන් අහනවා බලනවලු. ඒ නිසා දැන් එයාට ගොඩක් ෆෑන්ස්ලත් ඉන්නවලු. හැබැයි ඔය වගේම දෙයක් මීට කලින් ඡන්දෙකදි ප්‍රකට වෙද මහත්තයෙකුත් කරලා සම්මන්ත්‍රණ අන්තිමේ නතර වුණේ රටේ ලොකුතැන තෝරන ඡන්දයෙන්. නමුත් උන්නැහේගෙ අරමුණ හරිගියේ නැහැ. අන්න ඒ වගේ දෙයක් මෙයත් කරගනීද කියලා හැමෝම බලාගෙනලු ඉන්නේ.