2021 මැයි 01 වන සෙනසුරාදා

අනූ නවයෙන් නැවතුණ ගුටි කෙළිය

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 642

මැතිසබා ලොබියෙ ගුටි කෙළියක් වෙන්න ගියා කියල තතු දත් අය කියනව... 

මේ ගුටි කෙළිය සිද්ධවෙන්න ගියේ වතුකරේ (රාධා) සහ කලපුවෙ (රාසා) අතර කියලයි දැකපු අය කියන්නෙ...

ගෝරියට හේතුව සිල්ලර ප්‍රශ්නයක්ලු. රාධාගෙ පක්ෂයෙ ජාතික මට්ටමේ සම්මේලනේ පසුගියදා උඩරට පළාතෙ නගරෙක තිබුණ. ඒක ජයටම කරන්න ඕන නිසා සෙසු ප්‍රධාන පක්ෂ ගණනාවක ලොක්කන්ටත් ආරාධනා කරලා තිබුණා... ඒත් එතන පොඩි පරහක් තිබුණලු... රාධාත් සම්බන්ධ වතුකර සන්ධානෙ මනෝතුමාටත් දිගාටත් ඒකට ආරාධනා නැහැ. මනෝතුමා තමා සන්ධානෙ නායකයා වෙන්නෙ... මේ ගැන දැඩි නොසතුටින් තමයි එයාල හිටියෙ.

අලි පාටියට, උතුරු සන්ධානෙට, ටැලිෆෝන් එකට වගේම සමහර පොහොට්ටු ලොක්කන්ටත් මේ සම්මේලනයට ආරාධනා තිබුණලු...

කොහොම හරි සමුළුවට සහභාගි වෙන්න ටැලිෆෝන් පක්ෂයෙන් නුවරඑළි පැත්තට ගිහින් හිටපු හරින් උන්නැහේත් මඩකලපු (රාසාත්) එහේ ඉන්නකොට දිගාල මනෝල කතාකරල පක්ෂ නායකයන්ට ආරාධනා නැති සම්මේලනයට ඔයගොල්ලො යන්නෙ මොකටද කියල ප්‍රශ්න කරල... ඒ පාර මේක එයාලගෙ ඇතුළත ගෝරියක් නිසා හරින් වගේම (රාසාත්) සමුළුවට නොගිහින් ආපසු යන්න ගියා.

ඔය ගැන කෝන්තරේ හිතේ තියන් හිටපු වතුකර ලොක්කට මඩකලපු රාසා මැතිසබා ලොබියෙදි හමුවුණාම කතාව ඇදුණා. කතාව ඇදිලා සැර වචන හුවමාරුවක් සිදුවුණා. අවසානෙ දෙන්නම දෙඤ්ඤං බැටේ කියාගෙන ඉස්සරහට පැන්නා....

ඒ පාර ළඟ හිටපු මැතිඇමැති කස්ටිය කඩාපැනලා උඹලා මෙතන ගහගන්නෙ නැතුව එළියට ගිහිල්ලා ගහගනිල්ලා කියලා දෙන්නා දෙපැත්තට ඇදන් ගියා. නැත්නම් එකම දවසෙ ගුටි කෙළි දෙකක් සිද්ධ වෙන්නයි ගියේ....