2019 ජුනි 22 වන සෙනසුරාදා

කබරගොයා තලගොයා කරගැනීම

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 1540

ගිය ආණ්ඩුව තිබුණු කාලේ විදේශ කටයුතු අංසෙන් කරපු තානාපති පත්කිරීම් ගැන ලොකුවට විවේචන ආවා....

ඒ විවේචනවලට ගොඩක් හේතුවුණේ දේශපාලන අංසෙ කස්ටිය වැඩිපුර තානාපති පට්ටම්වලට දානවා කියලයි....

සිය ගණන් විදේශ සේවා කස්ටිය කොළඹට වෙලා හූල්ලනකොට දේශපාලනයේ බලවත් අය තමතමන්ගේ ගෝලයන්ට පත්වීම් ප්‍රදානය කළා....

ඒ කාලයේ ඉඳලා ඔය ගැන කතා කරපු විවේචන කරපු මේ රටේ හුඟක් දේවල් විනිවිද පේන එන්.ජී.ඕ. එකක් තිබුණා.

මේ විනිවිද පේන ආයතනයේ ලොක්කන් වැඩ කළෙත් විනිවිද පේන විදිහටයි. දේශපාලන පත්වීම්වලින් විදේශ කටයුතු අංශය පාච්චල් වන හැටි සමච්චලයට ලක්වන හැටි උන්නැහේලා තමන්ගේ ප්‍රකාශනවල සැරට ලිව්වා. එහෙම ලියපු ලිපි ලේඛන අදටත් විදේශ කටයුතු අංසෙ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්....

කොහොමහරි එදා විදේශ අංසෙ දේශපාලන පත්වීම් පට්ට ගැසූ විනිවිද පේන ඇන්.ජී.ඕ. ආයතනයේ බොස් ගැන ලැබුණ අලුත්ම වාර්තාවෙන් කියැවෙන්නේ උන්නැහේ එදා පට්ට පතුරැ ගහපු දේශපාලන තානාපති පත්වීමක් දැන් උන්නැහේටත් ලැබිලය කියලයි.

ඒ පත්වීම ඈත තියෙන මහද්වීපයක් වගේ ලොකු රටක්.. ඒ රටේ තානාපති නැත්නම් මහ කොමසාරිස් පට්ටමට පත්ව යන දේශපාලන පත්වීම් විරෝධී ආයතනයේ මේ විනිවිද පේන භවතා ළඟදීම එහේ වැඩ භාරගන්න යනවලු....

මේක අහපු අපට මතක් වුණේ කන්න හිතුණම කබරගොයා තලගොයා කරගත්ත කතාව...

අනේ කාලේ වනේ වාසේ කියන්නේ ඕවට තමයි....