2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ආසියානු ක‍්‍රීඩා උළෙලට ලංකාවෙන් “මෙගා” ටීම් එකක්

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

ඉන්දුනීසියාවේදී ඊයේ ආරම්භ වූ 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ 256 කින් සමන්විත මෙගා කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ජනතා මුදලින් රුපියල් කෝටි පහකට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ. මෙහිදී ජාතික ඔලිම්පික් කමිටුව සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය එක්ව රුපියල් මිලියන 51 කට ආසන්න මුදලක් වැයකරන බව වාර්තා වේ. මෙම ඇති දැවැන්ත මුදලට ලැබෙන ප‍්‍රතිඵලය දෙස ශ්‍රී ලාංකිකයෝ බලා සිටිති. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ ආසියානු ක‍්‍රීඩා උළෙලකට ශ්‍රී ලංකාවෙන් සහභාගී කරන වැඩිම කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකාව වැඩිම ක‍්‍රීඩා ඉසව් ගණනකට සහභාගීවන ආසියානු ක‍්‍රීඩා උළෙල බවටද එය පත්ව තිබේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයන් 135 දෙනෙකු, ක‍්‍රීඩිකාවන් 43 දෙනෙකු සහ පුහුණුකරුවන්ද සමඟ නිලධාරීන් 78 දෙනෙකු ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකාව නියෝජනය කරන මෙම දැවැන්ත කණ්ඩායමට වැඩිම පිරිස නියෝජනය කරන්නේ කබඩි ක‍්‍රීඩාවෙනි. එහිදී කාන්තා හා පිරිමි කබඩි කණ්ඩායම් දෙකට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 24 දෙනකු සහ නිලධාරීන් හය දෙනකු සමඟ 30 දෙනෙක් ඇතුළත් වෙති.

මෙම දැවැන්ත කණ්ඩායමේ සහභාගිත්වය ඉහළයාම සැබවින්ම ඔලිම්පික් නිලවරණයේදී සහය දැක්වූවන්ට කළගුණ සැළකීම සහ ඉදිරි නිලවරණයට ඡන්ද නිර්මාණය කරගැනීම බව පැහැදිලිය. ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ වත්මන් සභාපති දම්සක් සන්ධුල ප‍්‍රනාන්දු මහතා කණ්ඩායම් ප‍්‍රධානියා ලෙස කටයුතු කරන සතියකට පමණ පෙර ඒ මහතා ජකර්තා නුවර බලා ගොස් සිටියේය.

ක‍්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු එහි ඉහළ පෙළේ නිලධාරීන් කීපදෙනකුද ආසියානු ක‍්‍රීඩා උළෙල නැරඹීමට පිටත්ව යෑමට සූදානම්ව සිටිති. ආසියානු ඔලිම්පික් කමිටුවෙන් විශේෂ ආරාධනා ලබා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම්, එහි ලේකම් මැක්ස්වල් ද සිල්වා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ යාවජීව සභාපති හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුද ඉන්දුනීසියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.

ක‍්‍රීඩා ඉසව් 40 කින් සමන්විත මෙම ක‍්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් 2 වැනිදා අවසන් වේ. 

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00