2018 ජුනි 23 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට අමතක නොවන කොදෙව් දෙවැනි ටෙස්ට් ගැටුම

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ වරදට ටෙස්ට් තරගයක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පසුගිය අඟහරුවාදා තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පිලට ජ්‍යෙෂ්ඨතම පිතිකරු අහිමිවිය. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් වුවද එම තරගය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන තරගයක් බවට පත්ව තිබේ. 

ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වීම මෙහිදී වඩාත් කැපී පෙනුණි. කෙසේ වෙතත් චන්දිමාල් එම චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබුණි. තරගයේ දෙවැනි දිනයේදී චන්දිමාල් ‘චුයිංගම් හෝ ටොෆියක්’ වැනි දෙයක් කලිසම් සාක්කුවෙන් ගෙන කටේ දමාගන්නවාත් සමඟම කෙළවලින් පන්දුව පිරිමදින ආකාරය රූපවාහිනී දර්ශන විකාශය කෙරිණි.

චන්දිමාල්ට දෙවැනි තරගයේ සම්පූර්ණ තරග මුදල දඩයක් ලෙස පනවා තිබේ. ඊට අමතරව චන්දිමාල්ට දඬුවම් ලකුණු දෙකක්ද එකතු කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පියවර ගෙන තිබුණි. තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා පවසා තිබුණේ එහිදී චන්දිමාල්ගේ කෙළවල අසාමාන්‍ය දෙයක් අඩංගුව තිබූ බවයි. 

ශාන්ත ලුසියා ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඇති වූ මෙම සිද්ධිය තරගයේ තෙවැනි දිනය වූ පසුගිය සෙනසුරාදා අර්බුදයක් බවට පත්විය. එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයකින් තොරව දඩුවම් ලෙස කොදෙව් පිලට ලකුණු පහක් පිරිනැමීමට එරෙහිව ශ්‍රී ලංකා පිලේ කළමනාකාරිත්ව විරෝධය පළ කළේය. තරග තීරක ජවගල් ශ්‍රීනාත්, ශ්‍රී ලංකා පිලේ කළමනාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරු අතර පැයකට අධික කාලයක් පැවැති සාකච්ඡාවලින් පසුව කොදෙව් පිලට දඬුවම් ලකුණු 5 ක් ලබානොදීමේ එකඟතාව මත තරගය ආරම්භ විය. තරගය එදින පෙවරු 9.30 ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකා පිල එකඟතාව මත පෙරවරු 10.55 ක‍්‍රීඩාංගණයට පැමිණියේය.

එම පැමිණිමෙන් පසුව ප‍්‍රධාන විනිසුරුවන් වන අලීම් දාර් සහ ඉයන් ගුල්ඩ් යන විනිසුරුවෝ කොදෙව් පිලට දඬුවම් ලකුණු 5 ක් ප‍්‍රදානය කිරීමට කටයුතු කළහ. ඒ අනුව දිනේෂ් චන්දිමාල් ප‍්‍රමුඛ ශ්‍රී ලංකා පිල නැවත ක‍්‍රීඩාගාරයට පැමිණීමට ගොස් හතරේ සීමාව අසළට පැමිණ නතර විය. ඉන්පසුව තරග තීරකවරයා සහ අසංක ගුරුසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව තරගය පැය දෙකක් පමණ ප‍්‍රමාද වී නැවත ආරම්භ විය. මෙම තරගයේ විනිසුරු තීරණ බොහොමයක් ශ්‍රී ලංකා පිලට අවාසිදායක ලෙස ලැබුණු බවටද ඇතැම්හු චෝදනා කරති. 

ශ්‍රී ලංකා පිල උද්ගත වූ තත්ත්වය හමුවේ කොදෙව් පළමු ඉනිම ලකුණු 300 කට සීමා කළේය. ඒ අනුව කොදෙව් පිලට ලකුණු 47ක අඩු වාසියක් ලැබීම ශ්‍රී ලංකාවට වාසිදායක විය. කොදෙව් වේග පන්දු යවන්නන්ගේ බවුන්සර් සහ දෝලනය වන පන්දු හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී ලකුණු 342 ක් රුස්කරමින් ලකුණු 295ක වාසියක් ලබා ගැනීමෙන් තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමේ මග විවෘත විය.

එහිදී කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු 87 සහ නිරෝෂන් දික්වැල්ල රැස්කළ ලකුණු 62 වඩාත් කැපී පෙනුණි. රොෂෙන් සිල්වා රැස්කළ ලකුණු 48 මෙන්ම දිනේශ් චන්දිමාල්ගේ ලකුණු 39 ද අමතක කළ නොහැක. කොදෙව් පිල ලකුණු 296 ක ඉලක්කය හඹායද්දී වර්ෂාව හේතුවෙන් තරග අත්හිටු වන විට කොදෙව් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 147 ක් පමණක් ලබා සිටියේය. අවසන් දිනයට නියමිතව තිබූ ඉදිරි  ඕවර 37 ක‍්‍රියාත්මක වූයේ නම් ශ්‍රී ලංකාවට වාසිදායක ප‍්‍රතිඵලයක් ලැබීමට ද ඉඩ තිබුණි.

මෙම තරග දෙකේදී වේගපන්දු යවන්න ළහිරු කුමාර කැපී පෙනෙන පන්දු යැවීමක නිරත විය. ළහිරු කුමාර තරග දෙකේදී කඩුලු 11 ක් දවාගෙන තිබේ. මෙම තරගයේදී ටෙස්ට් වරම් ලැබූ 25 හැවිරිදි කසුන් රාජිත ඉනිම දෙකේදී කඩුලු 5 ක් දවා ගැනීම ශ්‍රී ලංකාවට අනාගතයේදී බලාපොරොත්තුවක් තැබිය හැකි තත්ත්වයකි.

කෙසේ වුවද තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා පිල ඊයේ ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජය ලැබිය යුතුමය. මෙම තරගය දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වීම තවත් විශේෂයකි. මෙම තරගය විසඳුමකින් තොරව අවසන් වුවහොත් කොදෙව් පිල තරගාවලිය 1x0 කින් ජය ලබයි. 

♦ යොහාන් භාසුර

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00