2017 ජනවාරි 14 වන සෙනසුරාදා

සල්ලි නැති ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි 45ක වැඩට අත ගසයි?

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය රුපියල් මිලියන 450ක් (කෝටි 45ක්) පමණ වැය කරමින් මේට්ලන්ඩ් පෙදෙස ක‍්‍රිකට් මූලස්ථානය නවීකරණය කිරීමට සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ නිවාස ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වන බව වාර්තා වේ. 

ක‍්‍රිකට් මූලස්ථානය නවීකරණය කිරීමට රුපියල් මිලියන 250ක් පමණ සහ නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 200ක් පමණ වැය කිරීමට සැළසුම් කරමින් සිටින බවද දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ දක්වා මූල්‍ය අර්බුදයක පසු වන අතර ඒ හේතුවෙන් විවිධ ආකාරයෙන් පිරිවැය අවම කරන බව පවසයි. එම පිරිවැය අවම වීම පොඩි තැන්වලින් පමණක් සිදුවන බවට ඕනෑවටත් වඩා උදාහරණ තිබේ. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවකයන්ට අපේ‍්‍රල් මස ගෙවන ප‍්‍රසාද දීමනාව පසුගිය වසරේ අහිමි කිරීමට ක‍්‍රිකට් පරිපාලනය කටයුතු කළේය. එය එසේ වුවද ක‍්‍රිකට් විධායක කමිටුවේ බොහෝ දෙනෙක් මිලියන ගණනින් වැය කරමින් විදේශ සංචාරවල නිරත වෙති. 

ක‍්‍රිකට් නිලධාරීන්ට විදේශ සංචාරවලට ‘ක‍්‍රිකට් ඒඩ්’ හොඳ මාතෘකාවක් බවට පත්ව තිබේ. එළඹෙන  ඕස්ටේ‍්‍රලියානු සංචාරයට ද සහභාගි වීමට ක‍්‍රිකට් විධායක කමිටුවේ නඩයක් සූදානමින් සිටින බවද කියති. 

වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ ගිවිසුමද කප්පාදු කිරීමට පියවර ගත්තේය. එහිදී අසරණ වූ ක‍්‍රීඩකයෝ ලබාදුන් ඇතැම් වරප‍්‍රසාදද එපා යැයි අවසන් මොහොතේ ප‍්‍රකාශ කළහ. 

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන්ගේ තරග මුදල් වැඩි කරන ලෙස ඉල්ලීමක් කළද එය තඹ දොයිතුවකට මායිම් නොකළ බව ක‍්‍රීඩා සමාජ පවසයි. 

වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය විශාල ව්‍යාපෘතිවලට වැඩි කැමැත්තක් දක්වන බව දැනගන්නට තිබේ. එම ව්‍යාපෘති මිලියන ගණනින් තිබිය යුතු බව පසුගිය කාලයේ ප‍්‍රදර්ශනය කෙරිණි. 

පසුගිය කාලය පුරාම එකම සම්මාන උළෙලක් ලෙස සියලුම ක්‍රිකට් වාර්ෂික සම්මාන ප‍්‍රදානය කළද මෙවර එය උළෙල දෙකකට කඩා තිබුණි. එහි ක‍්‍රීඩා සමාජ සම්මාන උළෙලට පමණක් හිතවත් උත්සව සංවිධානය කරන ආයතනයකට රුපියල් ලක්‍ෂ 200කට ආසන්න මුදලක් ගෙවීමට නියමිතව තිබූ බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේ නවීකරණය යටතේ දැනට ශ‍්‍රවණාගාරය පිහිටි දෙවැනි තට්ටුව කඩා එය දොරටුව අසළම ඉදිකිරීමට නියමිත බව දැනගන්නට තිබේ. ශ‍්‍රවණාගාරය පිහිටි ස්ථානයේ ප‍්‍රධාන තනතුරු දරණ නිලධාරීන් කීප දෙනකුට සුපිරි කාර්යාල කාමර සකස් කිරීමට නියමිත බවද වාර්තා වේ. 

ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානතම නිලධාරියකුගේ කාර්යාලය ශ‍්‍රවණාගාරයට යාබදව ඇති අතර ඔහුට සමීපයෙන් සෙසු උසස් නිලධාරීන් ස්ථානගත විය යුතු යැයි පැවසීම හේතුවෙන් මෙම වෙනස්කම් කරන බව දැනගන්නට තිබේ. 
ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ නිවාස ව්‍යාපෘතියක්ද දැවැන්ත එකක් වන අතර එහි කොන්ත‍්‍රාත්තුව ලබා ගැනීමටද මේ වන විටත් ඇතැමුන් පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට ක‍්‍රීඩකයන් වෙනුවෙන් වියදම් කිරීමට මුදල් නොමැති වුවද දැවැන්ත ව්‍යාපෘති වෙනුවෙන් සහ නිලධාරීන්ගේ විදේශ සංචාරය වෙනුවෙන් වැය කිරීමට ඕනෑ තරම් මුදල් ඇති බවට සාක්කි බුරුතු පිටින් සොයාගත හැකිය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය වසරක පමණ කාලයක් තුළ දියත් කළ දැවැන්ත ව්‍යාපෘති රුසක් නියමිත මිල කැඳවීමේ පටිපාටියෙන් තොරව කළ බවටද චෝදනා එල්ල වී තිබේ. 

ක‍්‍රීඩා බලධාරින්ට ඉතිරිව ඇත්තේ  අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා පළක් නැත යන කියමන පමණි. 

♦ සටහන: වරකාගොඩ ගමගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00