නව පුහුණුකරු සහ නව නායකයා යටතේ නව වසරේ පළමු තරගයේදී ජයග‍්‍රාහි ආරම්භයක් ලබාගනු ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන් තැබූ බලාපොරොත්තු පසුගිය බදාදා සුන්වී ගියේය. බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 12 කින් සිම්බාබ්වේ හමුවේ පරාජය වීමෙන් එම තත්ත්වය ඇතිවිය.
ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පළමු පැවරුම වූ මෙම තරගයෙන් පරාජයට පත්වීම ඔහුගේ මානසිකත්වයට එතරම් හොඳ දෙයක් නම් නොවේ. මෙම පරාජයේ වගකීම සමසේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් බේදයකින් තොරව බාරගත යුතුය. මෙම තරගාවලියට සහභාගි වී සිටින්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව ක‍්‍රිකට් ශක්තියේ උපරිමයට සමාන සංචිතයකි.
එය එසේ වුවද සිම්බාබ්වේ පිතිකරුවෝ පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 290 ක් රැස්කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිම්බාබ්වේ පිතිකරුවන්ට පීඩනයක් යොමු කළේ නම් ලකුණු 250 ට අඩුවෙන් නතර කිරීමේ අවස්ථාව තිබුණි. මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය තුළ ද නමගිය පන්දු යවන්නකු නැතිවීම අවාසිදායකය. එවැනි පන්දු යවන්නන් නොමැති වීම පිතිකරුවන්ට මානසික පීඩනයකින් තොරව ලකුණු රැස්කිරීමේ අවස්ථාව හිමිවේ.
අසේල ගුණරත්න සහ තිසර පෙරේරා පමණක් එහිදී පිතිකරුවන්ට පීඩනය යොමු කිරීමට සමත් වූහ. කෙසේ වෙතත් සෙසු පන්දු යවන්නන් ප‍්‍රහාරයට ලක්වීමෙන් ග‍්‍රහණය ගිලිහුණි. පිතිකරුවන්ට ද වගකීමෙන් ගැලවීමට නොහැක. එම තරගයේදී ශ්‍රී ලංකා පිල සතුව කුසල් පෙරේරා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පමණක් නිත්‍ය පිතිකරුවෝ ලෙස ක‍්‍රීඩා කළහ. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගයට සහභාගි වූයේ පිතිකරුවන් පස් දෙනකුගෙනි.
අසේල ගුණරත්න ආබාධයෙන් පසුව පැමිණ ඉන්දීය සංචාරයේ සිට මේ දක්වා සාර්ථක ඉනිමක් ක‍්‍රීඩා කර නොමැත. තිසර පෙරේරා කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි පිතිකරුවෙක් බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වෙතත් මෙම තරගයේදී තිසර පන්දු 37 කින් රැස් කළ ලකුණු 64 නොවන්නට පරාජය වඩාත් විශාල වනු ඇත.
මෙම කණ්ඩායම ද පසුගිය වසර කීපයේ ක‍්‍රීඩා කළ කණ්ඩායම්වලට සමාන පැත්තක් බර කණ්ඩායමකි. වනිඳු හසරංග වෙනුවට මෙහිදී නිරෝෂන් දික්වැල්ල හෝ ධනුෂ්ක ගුණතිලක යොදාගත්තේ නම් පිතිකරැ අංශය මීට වඩා ශක්තිමත් වේ.
ශ්‍රී ලංකා එක්දින පිල භාග ක‍්‍රීඩකයන්ගෙන් ක‍්‍රීඩා කිරීමෙන් ගැලවීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේද යන සැකය මේ වනවිට මතුවේ. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට බුද්ධිය මුසු කරන්නකු ලෙස නමක් දිනා සිටින හතුරුසිංහට ද බුද්ධිය පහළ නොවූ හැඩකි. කුසල් මෙන්ඩිස් වැනි පිතිකරුවන්ව පුනුරුත්ථාපනය කළ යුතුව තිබිණි. එය කළ හැක්කේ වෙන කිසිවකුට නොව පුහුණුකරු චන්දික හතුරුසිංහට පමණි. කුසල් මෙන්ඩිස් අනවශ්‍ය පහරක් ගැසීමට ගොස් කඩුල්ල විසි කළේය. ඔහුට දැන් පොඩි කාළේ මෙන්ම දඬුවම් දීමේ අවස්ථාව නැත. ඒ සඳහා වෙනත් ක‍්‍රම අනුගමනය කළ යුතුය.
කුසල් ජනිත් පෙරේරා නැවතත් ආරම්භක පිතිකරු ස්ථානයට පැමිණ වේගවත් ලකුණු 80 ක් රැස්කිරීම ඉදිරියට හොඳ පෙර නිමිත්තකි. බංග්ලාදේශය පළමු තරගයේදී සිම්බාබ්වේ පහසුවෙන් පරාජය කළේය. ඒ අනුව මෙම තරගාවලියේ ඉදිරියද ශ්‍රී ලංකාවට අභියෝගයක් වනු ඇත.
ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව පසුගිය සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ අතර එම තරගයේදී හෝ ජයග‍්‍රහණයේ ආරම්භයක් ලබනු ඇතැයි විශ්වාසයක් තැබීම පමණක් කළ හැකි තිබේ.
සටහන: යොහාන් භාසුර
මැතිව්ස් එයිද?
බංග්ලාදේශයේ දැන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි සිටි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීමෙන් ඉදිරි තරග අහිමිවීමේ අවදානමකට පත්ව සිටියේය.
සිම්බාබ්වේට එරෙහිව පසුගිය බදාදා පැවැති පළමු තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී මැතිව්ස් නැවතත් දකුණු පාදයේ මස්පිඬු පෙරළීමේ ආබාධයකට ලක්විය.
මැතිව්ස්ගේ වෛද්‍ය වාර්තා පසුගිය බ‍්‍රහස්පතින්දා එංගලන්තයට යොමුකළ අතර එහිදී ලැබෙන උපදෙස් අනුව තරගාවලියේ රැඳී සිටීම තීරණය වේ.
ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී එක්දින පිලේ නායකයා ලෙස කටයුතු කරන අතර මැතිව්ස්ගේ ස්ථානයට යොවුන් පිතිකරැ සදීර සමරවික‍්‍රම බංග්ලාදේශයට පිටත්කර හැරීමට සූදානමින් සිටියේය.