“ශ්රී ලංකාවට මොකද වෙලා තියෙන්නේ. එයට හේතුව ඔබට කියන්න පුළුවන්ද?” ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මා වෙත පැමිණ ඉන්දෝර් මාධ්‍ය කුටියේදී විමසීය. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කඩාවැටීම පිළිබඳව කෙස් පැහුණු එම සුහදශීලි මාධ්‍යවේදීයා තුළ සත්‍ය වශයෙන්ම කණගාටුවක් තිබුණි.
“මහේල, සංගක්කාර සහ ඩිල්ෂාන් ඉවත් වූ පසු තරුණ ක‍්‍රීඩකයන් ඉන්නේ. ටිකක් කල් යයි හැදෙන්න” යැයි මම පිළිතුරු දුන්නෙමි.
“ඉතින් අපේ සචින් ගියා. ලක්‍ෂ්මන්, ද්‍රාවිඩ් ගියා අපේ වැටීමක් නෑ නේ” ඔහු පෙරළා පිළිතුරු දුන්නේය. “ඔබේ රටේ දෙවැනි පෙළක් නෑ. ඒකයි ප‍්‍රශ්නේ. අපේ එහෙම නොවෙයි බලන්න මේ තරගාවලිය තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව දීලා තියෙනවා”
ඒ මාධ්‍යවේදියා අපේ ගැටලුව කරමුලින්ම අල්ලා ගත්තේය.
මෙම පරාජයට මූලික හේතුව දෙවැනි පෙළ ක‍්‍රීඩකයන් නිර්මාණය නොකිරීම බව හිටපු ශ‍්‍රී ලංකා නායක සහ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ක‍්‍රිකට් උපදේශන කමිටු සාමාජික මහේල ජයවර්ධනද විදේශ මාධ්‍යයට පවසා තිබුණි. ශ‍්‍රී ලංකාවේ සැබෑ ගැටලුව ද එය බව අමුතුවෙන් කිවයුතු නැත. තවද නිර්මාණ කළ දෙවැනි පෙළ වන දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් වැනි ක‍්‍රීඩකයන් පැත්තකට තල්ලු කර තිබීමද කැපී පෙනිණි.
තවද ශ‍්‍රී ලංකාව තරගවලදී සංයුතිය තෝරා ගැනීමේදී දුර්වලතා දක්වන බව මෙම ඉන්දීය සංචාරයේදී ද ප‍්‍රදර්ශනය කළේය. පුහුණුකරු කවුරු වුවත් මේ ශ‍්‍රී ලංකා කණ්ඩායම බව අමතක නොකළ යුතුය. තරග පරාජය වනවිට මාධ්‍ය හමුවට ඉදිරිපත්වීමේ ‘බිල්ලා’ බවට පත්ව සිටි නික් පොතාස් තවදුරටත් පුහුණුකරු ධුරයේ කටයුතු කළේ නම් ශ‍්‍රී ලංකාවට ආවේණික වූ ක‍්‍රිකට් විනාශ වීමට ඉඩ තිබුණි.
ශ‍්‍රී ලංකාව මෙම ඉන්දීය සංචාරයේ සහභාගි වූ තරග නවයේදී ධර්ම්සාලාහිදී පැවැති පළමු එක්දින තරගයෙන් පමණක් ජය ලැබීය. ටෙස්ට් තරගාවලිය 1-0 කින්, එක්දින තරගාවලිය 2-1 කින් සහ විස්සයි20 තරගාවලිය 3-0 කින් පරාජයට පත්විය. මුම්බායිහිදී පැවැති අවසන් විස්සයි20 තරගයේදී ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 135 ක් රැකගැනීමට ගත් උත්සාහයෙන් හතුරුසිංහට අලුත් ගමනක් පටන් ගැනීමේ අවස්ථාව තිබේ.
එම තරගයේදී පිතිකරුවන් ලකුණු 160 ක් හෝ 170 ක් රැස්කිරීමට සමත් වූයේ නම් තරගයේ ප‍්‍රතිඵලයට බලපෑමක් කිරීමේ අවස්ථාව තිබුණි. විස්සයි20 තරගාවලිය පුරාම පිතිකරුවන්ගේ දුර්වලතාව ප‍්‍රදර්ශනය විය. එම තරගයට ද ශ‍්‍රී ලංකාව නිත්‍ය දඟපන්දු යවන්නා ලෙස අකිල ධනංජය පමණක් තරගයට සහභාගි කර තිබිණි.
ඉන්දෝර්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී රෝහිත් ශර්මා රුස්කළ ලෝක වාර්තාගත ඉනිමත් සමඟ පළමු ඉනිම අවසන් වනවිට ශ‍්‍රී ලංකාවේ පරාජය සටහන්ව තිබූ බව අමුතුවෙන් කිවයුතු නැත. රෝහිත් ශර්මා පන්දු 43 කින් රැස්කළ ලකුණු 118 ත් සමඟ ඉන්දීය පිල ලකුණු 260 ක් රැස්කළ අතර ශ‍්‍රී ලංකාව ලකුණු 88 කින් පරාජයට පත්විය. එහිදී ශ‍්‍රී ලංකා පිලේ අවසන් කඩුලු නවය ලකුණු 27ක් තුළ බිඳ වැටීමෙන් පරාජය වඩාත් පුළුල් එකක් බවට පත්විය.
ඇන්ජලෝ මැතිව්ස් එම තරගයේදී නැවතත් ආබාධයකට ලක්වූ අතර ඔහුට සති දෙකක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවූ අතර ඔහු පසුදින නැවත ශ‍්‍රී ලංකාවට පැමිණියේය. ශ‍්‍රී ලංකා පිල කටාක්හිදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 93 ක අති දැවැන්ත පරාජයක් ලැබීය. පරාජයේ දැවැන්ත බව මෙන්ම එම තරගයට ශ‍්‍රී ලංකා පිල නිත්‍ය වේගපන්දු යවන්නන් තිදෙනකු සමඟින් වේගපන්දු යවන්නන් පස්දෙනකු සමඟ තරගයට පිවිසීම විශ්මය දනවන්නක් බවට පත් වූ කාරණයක් විය.
අකිල ධනංජය එහිදී ශ‍්‍රී ලංකා පිලේ එකම දඟපන්දු යවන්නා වූ අතර එහිදී අකිල දුර්වල යැයි කිසිවකුට කිව නොහැක. නුවන් ප‍්‍රදීප්, දුෂ්මන්ත චමීර, විශ්ව ප‍්‍රනාන්දු, තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් එම තරගයේදී වේගපන්දු යවන්නන් ලෙස ඕවර 16 ක් යැවූහ.
ඉන්දීය පිතිකරුවන් එම ඕවර 16 ට ලකුණු 151ක් රැස්කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ඕවර තුනක් පමණක් යවා ලකුණු 19ක් ලබාදුන්නේය. විශ්ව ප‍්‍රනාන්දු ඕවර දෙකක් පමණක් දැවූ අතර චමීර ඕවර තුනක් ක‍්‍රියාත්මක කළේය. මෙහිදී කිසිදු බාධාවකින් තොරව වේගපන්දු යවන්නකු වෙනුවට වමතින් දඟ පන්දු යවන්නන් වන චතුරංග හෝ පතිරණ දෙපළගෙන් කෙනකුට අවස්ථාව දියයුතුව තිබුණි.
සත්කාරක ඉන්දීය දඟ පන්දු යවන්නන් වන යුෂ්වෙන්ද්‍ර චාහල් සහ කුල්දීප් යාදේව් ශ‍්‍රී ලංකා පිල අන්තඅසරණ තත්ත්වයට ඇද දමමින් කඩුලු 6 ක් දවා ගත්හ. දකුණතින් මඳ වේගපන්දු යවන අසේල ගුණරත්න එකම ඕවරයක් යැවීමට හෝ කැඳවීම් නොලැබූ අතර එම තණතීරුවේ ඇතැම් විට ඉනිම මැදදී අසේල කැඳවූයේ නම් සාර්ථක වීමේ ඉඩ තිබුණි.
ටෙස්ට් සංචිතයේද වසර කීපයක් බංකුවේ සිටි වේගපන්දු යවන්නකු වන විශ්ව ප‍්‍රනාන්දුට මෙම තරගයේදී විස්සයි20 වරම් හිමිවිය. තේරීම් කමිටුව ‘ටක් ටික් ටුක්’ ක‍්‍රමයට ක‍්‍රීඩකයන් තෝරනවාද යන්න මෙවැනි තේරීම් ගැන බැලීමේදී දැඩි සැකයක් මතුවේ. තේරීම් කමිටුව වලිගය පාගාගෙන සිටින බව නම් පැහැදිලිය. විස්සයි20 සහ එක්දින ක‍්‍රීඩා කළයුතු ප‍්‍රවේගකාරී පිතිකරුවකු වන සදීර සමරවික‍්‍රමට විස්සයි20 තරග දෙකක පමණක් අවස්ථාව ලැබුණි.
සදීර වැනි තරුණ දක්‍ෂ ක‍්‍රීඩකයන් මංමුළා කිරීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයට දැඩි සේ අහිතකරය. සදීර ඇතැම් විට ශ‍්‍රී ලංකාවේ අනාගත ‘ඩිල්ෂාන්’ විය හැකිය. සෞම්‍ය සාකර් වැනි බංග්ලාදේශ ක‍්‍රීඩකයන් නිර්මාණය කළ චන්දික හතුරුසිංහට දැන් සදීර වැනි සම්පත් බාරවී තිබේ.
(යොහාන් භාසුර, ඉන්දියානු සංචාරයෙන් පසු...)