2017 ජුලි 22 වන සෙනසුරාදා

කොටන් ඇද්දේ සුගත්: පෙරහරේ ගියේ තව පිරිසක්

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

ආසියානු මලල ක්‍රීඩා උළෙලේ පදක්කම් 5

වාසියක් තියෙනවා නම් අනුන්ගේ දරුවන්ටත් නම දෙනවා යැයි සමාජයේ කියමනක් තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට මෙම කියමන වඩාත් ගැලපෙන බව පසුගිය සතියේ සිද්ධියක් නැවතත් තහවුරු විය.

ඉන්දියාවේ බුබුනනේෂ්වර්හිදී පසුගියදා අවසන් වූ 22 වැනි ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් ඇතුළුව පදක්කම් 5ක් දිනා ගැනීමට සමත් විය. 

මෙම ඇගයීමේ උත්සවයට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නව සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු සහ ලේකම් ‍ප්‍රේමා පින්නවල යන මහත්වරු සහභාගි වී සිටියහ. ඔවුහු ඇගයීමට ලක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. 

මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වූයේ මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ බව මුළු රටම දන්නා කරුණකි. 

කෙසේ වෙතත් එම ජයග‍්‍රහණයේ වැඩි ගෞරවයක් සුගත් තිලකරත්න මහතාට හිමිවිය යුතුය. නමුත් මෙහිදී එවැනි දෙයක් සිදුවී නොමැති අතර අවම වශයෙන් ඒ මහතාට එම උත්සවයට ආරාධනයක් හෝ නොලැබුණු බව වාර්තා වේ. එම උත්සවයට ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් වාචික ආරාධනාවක් පමණක් තිලකරත්න මහතා ලැබී ඇති බව වාර්තා වේ.  

පාලිත ප‍්‍රනාන්දු මහතාගේ පාර්ශ්වය නිලවරණයේදී පැවසුවේ සුගත් තිලකරත්න පාලනය සමයේ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩාව කඩා වැටී ඇති බවයි. කඩා වැටුණේ නම් ආසියාවේ රටවල් 46ක් අතරින් 9 වැනි ස්ථානයට පැමිණිය නොහැකි බව අමතක නොකළ යුතුය.  සුගත් තිලකරත්න මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට පවසා තිබුණේ තම කාලය තුළ කළ සැලසුම්ගත පුහුණුව හේතුවෙන් මෙම ජයග‍්‍රහණය ලබාගත හැකි වූ බවයි. 

මෙම තරගාවලියට සහභාගි වීමට පෙර විදේශ පුහුණුව ලබාගැනීමට අවශ්‍ය කටයුතු කළ බවත් පදක්කම් 5ක් දිනා ගන්නා බව තමන් පැවසූ බවත් වැඩි දුරටත් තිලකරත්න මහතා පවසා තිබුණි. 

පාලිත ප‍්‍රනාන්දු මහතා මලල ක‍්‍රීඩාව ගොඩනැගීමට දක්‍ෂයකු නම් මීළඟ ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී පදක්කම් සංඛ්‍යාව ඉහළ දැමිය යුතුය. 

මලල ක‍්‍රීඩා සංගමයේ අඛණ්ඩව තනතුරු දැරීමෙන් නිර්මාණය කරගෙන සිටින ඇතැමුන් ක‍්‍රීඩා පනත සම්බන්ධයෙන් පසුගිය වසර කීපයේ ඇතිවූ ජාත්‍යන්තර මැදිහත්වීමවලට ලුණු ඇඹුල් සැපයූ බව ප‍්‍රසිද්ධ රහසකි. දැන් ඒ ඇතැම්හූ නැවත පරිපාලනයට පැමිණ සිටිති. එම සම්බන්ධතා ශ්‍රී ලංකාවේ මලල ක‍්‍රීඩාවේ දියුණුවට යොදාගන්නවා ද යන්න ඉදිරියේදී බලාගත හැකිය. එය එසේ වන්නේ දැයි ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා ලෝලීන් බලා සිටින බව කිවයුතුය. 

 භාසුර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00