2023 ජුනි 10 වන සෙනසුරාදා

මටත් වඩා හොඳ පන්දු යැවීමේ ඉරියව්වක් වීරවිල දරුවාට තිබෙනවා - මාලිංග කියයි

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 356

''ඔහු ලසිත් මාලිංග වගේ නොවයි පන්දු යවන්නේ. ඔහු ඔහුටම ආවේනික ඉතාමත් පහසු, ලස්සන ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ගොඩක් වටින පන්දු යැවීමේ ඉරියව්වකින් පන්දු යවනවා. ගොඩක් දෙනෙක් වැරදි අර්ථකථන දීලා තිබුණා ලසිත් මාලිංග වගේ පන්දු යවනවා කියලා. මාලිංග වගේ නෙවෙයි ඔහු පන්දු යවන්නේ. ඔහු ඊටත් වඩා හොඳ පන්දු යැවීමේ ඉරියව්වක් තියෙන ක‍්‍රීඩකයෙක් කියලා මට හිතෙනවා'' 

ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට බිහිවූ සුපිරිතම වේගපන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග පසුගියදා දස හැවිරිදි පන්දු යවන්නකු පිළිබඳව පවසා තිබුණි.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වීරවිල, 19 කොළණිය ප‍්‍රදේශයේ කුඩා දරුවෙක් ටෙනිස් බෝලයෙන් පන්දු යවන ආකාරය පිළිබඳව සමාජ මාධ්‍යයක පළවී තිබූ පන්දු යැවීමේ වීඩියෝවක් පිළිබඳව මාලිංගගේ අවධානය පසුගියදා යොමුවී තිබුණි. වීඩියෝව දැකීමෙන් පසුව එම ක‍්‍රීඩකයා පිළිබඳව තොරතුරු දන්නා කෙනෙක්ගෙන් මාලිංග විවෘතව විස්තර ඉල්ලා තිබුණි. එම විස්තර ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් මාලිංගට පැය කිහිපයක් ගතවීමට මත්තෙන් එම ක‍්‍රීඩකයාගේ විස්තර ලැබුණි.  

දෙනෙත් අනුහස් නැමැති මෙම පුංචි ක‍්‍රීඩකයා වීරවිල, 19 කොළණිය ප‍්‍රදේශයේ ආර්ථික වශයෙන් එතරම් ශක්තිමත් නැති පවුලක සාමාජිකයෙක් බවත් ඔහු ‘ලෙදර් පන්දු’ ක‍්‍රීඩා නොකරන බවත් මේ වනවිට හෙළිවී තිබේ. 

එම ක‍්‍රීඩකයාගේ තොරතුරු ලැබුණු පසු  ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ලසිත් මාලිංග වැඩිදුරටත් මෙසේ පවසා තිබුණි. 

''මම ක‍්‍රීඩා කරන්න පටන් ගත්තු කාලය, ඒ කියන්නේ අවුරුදු 8 සහ 9 කාලයේදී මම කොහොමද ටෙනිස් බෝල් ක‍්‍රීඩා කළේ. මට තිබුණු අත්දැකීම් සහ මම ක‍්‍රීඩා කළ ආකාරයත් සමඟ මට ලැබුණු අවස්ථාවන් එක්ක මම හිතුවා මේ පන්දු යවන්නාටත් උපතින්ම, ස්වභාවිකව පන්දු යැවීමේ ඉරියව්වක් වගේම පන්දු යැවීමේ හැකියාවක් තිබෙනවා කියලා. 

ඔහු ඒ පන්දු යවන විදිය, ඔහු දුවගෙන එන ආකාරය සහ ඔහු පන්දු යැවීමට පෙර කොහොමද ජම්ප් කරන්නේ සහ කොහොමද පසුපස පාදය තබන ආකාරය, පන්දු යැවීමෙන් පසුව ඉදිරියට යන්නේ කෙසේද, පිතිකරු දෙස ඔහුගේ හිස යොමුකරන ආකාරය ආදි මේ හැමදේම කිසිම කෙනෙක් කියා දෙන්නේ නැතුව ටෙනිස් බෝල් ක‍්‍රීඩා කරන ගමන් ඔහුට ලැබී තියෙනවා. ඒ වගේ දක්‍ෂතාවක් සහ හැකියාවක් හරිම ආමාරුයි කිසිම පුහුණුකරුවකුට පුහුණු කරන්න. 

මම ක‍්‍රීඩකයෙක් හැටියට හිටිය කාලයට වඩා දැන් පුහුණුකරුවෙක් හැටියට මම පන්දු යවන්නකුගේ මොනවද බලන්නේ මොන වගේ දේවල්ද හොයන්නේ කියන එක ඒ පන්දු යවන පොඩි එක්කෙනාගේ තිබුණු නිසා තමයි මම ඔහුව සොයන්න පටන් ගත්තේ.

මටත් ඒ වගේම අත්දැකීම් තියෙනවා. මම ගාල්ල රත්ගම ප‍්‍රදේශයේ ක‍්‍රීඩා කරන විට මටත් ඒ වගේ අවස්ථාවන් ලැබී තිබෙනවා. ලොකු අයත් එක්ක සෙල්ලම් කරන තැන බලාගෙන ඉන්න අවස්ථාව ලැබී තියෙනවා. කොයි වෙලාවක හරි පන්දුවක් යවන්න ලැබේවි කියලා බලන් ඉන්න අත්දැකීම් තියෙනවා. 

සෙරෙප්පු දෙකක්වත් කකුල් දෙකට නැතුව ඕනෑම තාර පාරක, ඕනම ගල්ගොඩක,  ඕනෑම ක‍්‍රීඩාංගණයක පන්දු යවන්න ආසාවෙන් බලන් හිටපු කාලයක් තිබුණා. ඒ හැම දෙයක් සමඟ මම හිතුවා, මගේ භාෂාවෙන් කියනවා නම් ඒ වගේ කට්ට කාලා ඕනම අව්වකට, වැස්සකට ඕනම තැනකට අනුවර්තනය වෙලා ඕනම තැනක සෙල්ලම් කරන්න පුළුවන් හැකියාව ලබාගන්න ඒක තමන්ට උපතින් ලැබුණු අපහසුතාවයන් එක්ක ලැබෙන දෙයක්.''

මාලිංග ඉන්පසුව එම ක‍්‍රීඩකයාගේ දෙමව්පියන් දුකරථනයෙන් සම්බන්ධ කර ගනිමින් එම ක‍්‍රීඩකයා ලෙදර් පන්දු ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට පහසුකම් ඇති ආසන්නතම පාසල වන දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයට යොමුකර තිබුණි. දෙනෙත් අනුහස් එම සම්බන්ධීකරණයත් සමඟ පසුගිය සතියේ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පළමු ‘ලෙදර් පන්දු’ පුහුණු සැසියටද සහභාගි විය. එම පුහුණු සැසියෙන් පසුව දෙනෙත් පවසා තිබුණේ තමන් ලෙදර් පන්දු ක‍්‍රීඩා කිරීමට වඩාත් කැමැත්තෙන් පසුවන බවය. 

දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්‍ෂ වේගපන්දු යවන්නෙක් වන සුරංග ලක්මාල් සහ ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකර ගෙන සිටි දක්‍ෂ වේගපන්දු යවන්නෙක් වන නුවන් කුලසේකරද පසුගිය සතිය අවසන් වනවිට ‘දෙනෙත්’ ට ශක්තියක් වීමට ඉදිරිපත්ව සිටියහ. 

19 කොළණිය ප‍්‍රදේශයේ පැවැති ටෙනිස් පන්දු ක‍්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට ගිය අවස්ථාවකදී ක‍්‍රිකට් පිළිබඳව තියුණු ඇසක් තිබූ පුද්ගලයෙක් දෙනෙත්ගේ පන්දු යැවීමේ විශේෂත්වය දැක එය වීඩියෝ කර පළ කිරීමද මෙහිදී අමතක නොකළ යුතුය. ඔහුට එම දැනුම නොතිබුණේ නම් වේගපන්දු විශේෂඥයෙක් වන මාලිංගගේ ඇස නොගැටීමට වැඩි ඉඩක් තිබුණි.  

කැලේ පිපිණු මලක් ලෙස සමස්ත ක‍්‍රිකට් ලෝකයම සුවඳවත් කළ ලසිත් මාලිංග ‘දෙනෙත්’ පසුපස නිරන්තරයෙන් සිටියහොත් ඔහුගේ අනාගතය පැහැබර වනු ඇති බවට සමස්ත ශ්‍රී ලාංකිකයෝ විශ්වාස කරති.

I සටහන: යොහාන් භාසුර