2023 මැයි 28 වන ඉරිදා

තමිල්නාඩු දේශපාලනය වෙනස් කළ ලංකාවේ ක්‍රිකට් තරු දෙක

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 331

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමේ ජයකෙහෙළි නංවන මතීෂ පතිරණ සහ මහේෂ් තීක්ෂණ තමිල්නාඩු වැසියන්ගේ දේශපාලනය වෙනස් කිරීමට පවා දායක වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කරයි. වසර ගණනාවකට පෙර චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු සහභාගි කර නොගත යුතු බවට තමිල්නාඩු ක්‍රිකට් ලෝලීහු දැඩිව කියා සිටියහ. යුද්ධය හා බැඳුණු දේශපාලන හේතූන් මත ශ්‍රී ලංකාවට එරෙහිව දැරෑ ආවේගාත්මක අදහස් එයට හේතු වී තිබිණි. මේ පිළිබඳව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පසුගියදා අපූරු ලිපියක් පළකර තිබිණි. එහි මෙසේද සඳහන් විය.

තමිල්නාඩුවේ ප්‍රකට දේශපාලනඥයෙක් මුරලිදරන්ගේ චිත්‍රපටයට සම්බන්ධ ඡායාරෑපයක් සහිත විශාල පුවරුවක් ඉරා දමමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට තමිල්නාඩුවේ ක්‍රීඩා කිරීමට ඉඩ නොදිය යුතු බවට ගෙනගිය විරෝධය දෙරට අතර ක්‍රිකට් සබඳතාවලට බාධා පැමිණවිය. එහෙත් මේ වනවිට අයි.පී.එල්. තරගාවලියේදී චෙන්නායි නායක එම්.එස්. දෝනිගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමිල්නාඩුවේ සුවිශේෂී වෙනසක් සිදුවෙමින් තිබේ. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනකු වන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ අද වනවිට චෙන්නායි ක්‍රීඩාංගණය වන එම්.ඒ. චිදම්බරන් වෙත එක්රොක් වෙන ක්‍රීඩාලෝලීන්ගේ සිත් දිනූ ක්‍රීඩකයන් දෙදෙනෙක් බවට පත්ව සිටිති. එහෙත් මීට ටික කලකට පෙර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට චෙන්නායි ක්‍රීඩාංගණය තහනම් කලාපයක් බවට පත්කළේද එම තමිල්නාඩු ක්‍රිකට් ලෝලීන්මය. යුද්ධය අවසන් වීමෙන් පසුව පැනනැගුණු ආවේගාත්මක අදහස් එයට හේතු වී තිබිණි.

මීට වසර දෙකකට පෙර චෙන්නායිහිදී ශ්‍රී ලාංකික දමිළ ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන්ටද අත්කරගත නොහැකි වූ ප්‍රසාදයක් ශ්‍රී ලාංකික සිංහල ක්‍රීඩකයන් දෙදෙනෙකුට අත්පත් කරගත හැකිවීම ක්‍රිකට් දේශපාලනයේ අමරණීය සටහනකි. 2020 වසරේදී තමිල්නාඩු සුප්‍රකට නළුවකු වන විජේ සේතුපති මුරලිදරන්ගේ කතාව රුගත් චිත්‍රපටයේ මුරලිගේ චරිතයට පණ පොවන බව දැනගත් අවස්ථාවේ ඔහු තමිල්නාඩුවේ ප්‍රබල විවේචනයකට ලක්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සියකින් සැරසුණ ඔහුගේ ඡායාරෑප අන්තර්ජාලයේ සංසරණය වනවිට දින කිහිපයක් තුළදී ඔහු එම චිත්‍රපටයෙන් ඉවත් වූයේ එම විරෝධයට මුහුණ දීගත නොහැකිවය.

2013දී චෙන්නායි ක්‍රිකට් පිලට එක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනකු වන නුවන් කුලසේකර සහ අකිල ධනංජය ගැටලුවකට මුහුණ දුන්හ. චෙන්නායි හි පැවැති තරගවලදි ඔවුන් කණ්ඩායමට ඇතුළු කර ගැනීමෙන් වළක්වනු ලැබීය. ඒ හැර වෙනත් තීන්දුවක් ගැනීමට නොහැකි වූයේ තමිල්නාඩුවේ විරෝධය එතරම් උග්‍ර වූ බැවිනි. ඊළඟ වසරේදී චෙන්නායි කණ්ඩායමේ අයිතිකරුවෝ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වෙන්දේසියේදී ඉල්ලුම් නොකිරීමට වගබලා ගත්හ.

''කාලය විසින් හැමදේම සමනය කර දී තිබෙනවා. තමිල්නාඩු ජනතාවගේ බලවත් විරෝධයට හේතු වූ රාජපක්ෂවරුන් දැන් බලයේ නැහැ. මෙය තමිල්නාඩුවේ ආවේගාත්මක හැඟීම් බොහෝදුරට අඩු කිරීමට හේතු වී තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට එරෙහි සටනත් දැන් අවසන් වෙලා.''

තමිල්නාඩුව නියෝජනය කරන ලෝක් සභා මන්ත්‍රිවරයකු වන ආචාර්ය ඩී. රවිකුමාර් එසේ ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල හඬක් නැගූ පක්ෂයක් වශයෙන් ඔහුගේ පක්ෂය පිළිගැනීමට ලක් වී තිබේ. ඔහු ප්‍රකාශ කරන්නේ දේශපාලනය සහ ක්‍රීඩාව එකිනෙක පටලවා නොගතයුතු බවයි.

''කලාව, ක්‍රීඩාව සහ සාහිත්‍යය, දේශපාලනය සමඟ මිශ්‍රකර නොගත යුතුයි. නමුත් සමහර අවස්ථාවලදී අපට ජනතාවගේ හැඟීම් සමඟ ඉදිරියට යායුතු වෙනවා. ඒ කාලයේ ශ්‍රී ලාංකික ක්‍රිඩකයන්ට චෙනනායිහි ක්‍රීඩා කිරීමට ඉඩ නොදිය යුතුයි යන ස්ථාවරයේ අප සිටියේ ඒ හේතුවෙන්. එම ක්‍රීඩකයන් ජනතාව දුටුවේ ශ්‍රී ලාංකික දේශපාලනයේ නියෝජිතයන් හැටියටයි. ඒ කාලයේ දමිළ ජනයාට එරෙහිව යුද්ධයක් පැවතීම නිසයි එහෙම වුණේ. දැන් ශ්‍රී ලංකාව ආණ්ඩු මාරු වී සංහිඳියා වැඩපිළිවෙළක් ආරම්භ වී තිබෙනවා'' යැයිද ඔහු කියයි.

චෙන්නායි ජනතාව මෙවර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා නම් වශයෙන් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ විරෝධයක් දැක්වූයේ නැත. මුලදී මේ ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් ඔල්වරසන් නුදුන්නත් පසුව මතීෂ පතිරණ පන්දුව අතට ගෙන එය යැවීම සඳහා දුවගෙන එනවිට පවා දැන් ඔවුහු ඔල්වරසන් දෙති. පතිරණගේ යෝකර් පන්දුවක් පිතිකරුවා පරයමින් කඩුල්ලේ ගෑවී නොගෑවී යන විට නැගෙන ''ඌ...හ්...'' හඬ දැන් චෙන්නායි ක්‍රීඩාංගණයට හුරුපුරුදුය. ඔහු කඩුල්ලක් දවාගන්නා විට එම හඬ මහා ඔල්වරසන් දීමක් බවට පත්වෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයද චෙන්නායි ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි හැඟීම් දියකර හැරීමට තවත් හේතුවක් බවත් රවි කුමාර් මන්ත්‍රිවරයා කියයි.

2013 වසරේදී දෙරට අතර දේශපාලන උණුසුම ඉහළයාම හේතුවෙන් එවකට තමිල්නාඩු මහඇමැතිනිය වූ ජයලලිතා ඉන්දීය අගමැති මන්මෝහන් සිංට ලිපියකින් දැනුම් දී තිබුණේ කිසිදු ශ්‍රී ලාංකික ක්‍රිඩකයකුට හෝ තරග නිලධාරියකුට හෝ චෙන්නායිහිදී ක්‍රීඩා කිරිමට ඉඩ නොදෙන බවය. ඇය මේ බව කියා තිබුණේ ආණ්ඩුවෙන් ඉවත්වන බවට කළ දැනුම් දීමෙන් අනතුරුවය.

කෙසේ වුවද ඉන්පසුව ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන තත්ත්වය සමඟ තමිල්නාඩුවේ දේශපාලනයද වෙනස් විය. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනකු චෙන්නායි පිල සමඟ ගිවිසුම්ගත වන බවට පළවූ ප්‍රවෘත්තිවලට ජනතාවගේ විරෝධයක් එල්ල වුණේ නැත.
තීක්ෂණගේ තරග දිනවීමේ පන්දු යැවීමේ රටාව ගැන චෙන්නායි පිලට අවබෝධයක් තිබුණත් පතිරණ පිළිබඳ එවැනි අවබෝධයක් ඔවුන්ට නොතිබිණි. එහෙත් පතිරණගේ දස්කම් ඉතා ඉක්මණින් අවබෝධ කරගෙන තිබුණේ දෝනි ය. පතිරණට චෙන්නායි පිලට ඇරයුම් ලැබෙන්නේ ඒ හේතුවෙනි.

''පතිරණ අවසන් පන්දු ඕවර යැවීමේ ඉතාම දක්ෂයෙක්. එසේම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ඇතැම් විට පිතිකරුවන්ට හඳුනාගැනීම දුෂ්කරයි. ඔහුගේ පන්දුවට පහරදීමේදී පිතිකරුවන් අතිරේක තත්ත්පර කිහිපයක් පන්දුව හඳුනාගැනීමට වැයකළ යුතු වෙනවා. ඔහු හොඳ වේගයකින් පන්දුව යවන නිසා එය වඩාත් දුෂ්කර වෙනවා.'' යැයි දෝනි කියයි.

පතිරණ එක රුයකින් චෙන්නායිහි තරුවක් බවට පත්වුණත් තීක්ෂණට එම තත්ත්වයට පැමිණීමට ටික කාලයක් බලා සිටීමට සිදුවිය. කෙසේ වුවද ගුජරාට් තරගයේදී හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුල්ල ඔහුගේ පළමු ඕවරය තුළදී දවාගැනීමත් සමඟ තීක්ෂණගේ වටිනාකම ඉහළටම ගියේය. ඉන් අනතුරුව රාහුල් තේවාතියාගේ කඩුල්ලද දවාගත් තීක්ෂණ ආපසු ෆයින්ලෙග් කලාපයට පන්දු රුකීම සඳහා යද්දී නරඹන්නෝ සිය අසුන්වලින් නැගිට (Standing Ovation) ඔහුට පිළිගැනීමක් ලබාදුන්හ.
තීක්ෂණ ශ්‍රී ලාංකික හමුදාවේ සාමාජිකයකු වීම තමිල්නාඩු ක්‍රීඩාලෝලීන්ට තවදුරටත් ප්‍රශ්නයක් නොවේ ඔහු දැන් චෙන්නායි කහ ජර්සිය දරන ක්‍රීඩකයෙකි. මේ කහ ජර්සිය තමිල්නාඩුවේ සෑම ආත්මයම එකට බැඳ තබන රුහැනකි. ඔවුන් ක්‍රීඩකයන්ට දක්වන ආදරය එයින් පිළිබිඹු වෙයි.

I ඉන්දියන් එක්ස්ප්‍රස්