2023 අප්‍රේල් 30 වන ඉරිදා

ක්‍රීඩා සංගම් වළපල්ලට යවන අමාත්‍යාංශයේ ’’කමිටු වියරුව’’

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 134

ක‍්‍රීඩා ඇමැතිවරයාගේ සහ එම අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩා සංගම් රැසක් මේ වන විට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. 

එම අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබෙන ක‍්‍රීඩා සංගම් අතරට ශ්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රියම සහ වඩාත් ධනවත්ම ක‍්‍රීඩා සමාජය වන ‘ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය’ ද ඇතුළත්ව තිබුණි. 

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පරිපාලනය යටතේ ශ්‍රී ලංකාවේ සෙසු ප‍්‍රධානතම ක‍්‍රීඩා දෙක වන රග්බි සහ පාපන්දු යන ක‍්‍රීඩා ද මාස කිහිපයක සිට අර්බුදකාරී තත්ත්වයක පසුවෙයි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා කමිටුවක් පත්කිරීමත් සමඟ ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩා අමාත්‍යංශය අතර නැවතත් ගැටුමක් පසුගිය සතියේ නිර්මාණය විය. 

ක‍්‍රිකට් ආයතන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පත් කළ කමිටුව පිළිනොගන්නා බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙනම ව්‍යවස්ථාවකින් ක‍්‍රියාත්මක වන සාමාජිකයන්ට වගකියන ආයතනයක් බවත් පවසමින් ක‍්‍රිකට් ආයතනය පුවත්පත් දැන්වීම් පළ කර තිබුණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ව්‍යවස්ථා සංශෝධන කිරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩා අමාත්‍යංශය එකතුව ක‍්‍රිකට් ව්‍යාවස්ථාව සංශෝධනය කිරීමේ කාර්ය ඉටුකරන ලෙස අධිකරණයෙන් උපදෙස් ලැබී ඇති බවයි. 

ඒ අනුව එම කටයුත්තට ක‍්‍රීඩා අමාත්‍යංශයට මැදිහත්වීමේ අවස්ථාව ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අඛණ්ඩව එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳව පසුගිය සතිය වන විට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) දැඩි අවධානය යොමුවී තිබූ බවද වාර්තා විය. 

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අයි.සී.සී. ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගතහොත් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මරු පහරක් වේ. එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලිය ඇතුළුව අයි.සී.සී.ය සංවිධානය කරන සියලුම තරගාවලි සහ අයි.සී.සී. පිරිනමන මුදල් අහිමි වේ.   

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට ක‍්‍රීඩා අමාත්‍යංශය මැදිහත්වීමේ චෝදනාව මත අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පසුගිය ජනවාරි මස 21 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තහනමක් පැනවූ අතර එම තහනම ඉවත් කර ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය දරන්නේ යැයි කියන උත්සාහයන්ට ලෝක පාපන්දු සම්මේලනය ප‍්‍රතිචාර නොදක්වන බවද දැනගන්නට තිබේ.  

පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ගේ දූෂණ පිළිබඳව සෙවීමට පත් කළ කමිටුව දූෂණ චෝදනා රුසක් ඇතුළත් වාර්තාවක් ද මේ අතරවාරයේ ක‍්‍රීඩා අමාත්‍යවරයාට භාර දී ඇති බවද පාපන්දු ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. 

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරී මණ්ඩලය ඉවත් කර චූලා ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් ‘ස්ථාවරකරණ කමිටුවක්’ යැයි කියන අතුරු කමිටුවක් පත් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා මීට සති දෙකකට පමණ පෙර පියවර ගත්තේය. 

ක‍්‍රීඩා අමාත්‍යවරයා එවැනි කමිටුවක් පත් කළද රග්බි හිටපු නිලධාරීන් සහ ක‍්‍රීඩා අමාත්‍යංශය අතර නඩුවක් තවමත් අධිකරණයේ විභාග වෙයි. 

ශ්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාව වන වොලිබෝල් ක‍්‍රීඩාවේ පරිපාලනය ක‍්‍රියාත්මක කරන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ද දැඩි අර්බුදයකට පත්ව සිටින බව වාර්තා විය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සබරගමුව පළාත් හිටපු අමාත්‍ය කංචන ජයරත්න මහතා දේශපාලන බලය ද යොදාගනිමින් වොලිබෝල් සම්මේලනයට මුදල් සොයාගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වී ඇති බව ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ. 

ඒ හේතුවෙන් වොලිබෝල් සම්මේලනය ජාත්‍යන්තර තරග වියදම් ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 30 ක් හෙවත් රුපියල් කෝටි 3 ක් ඉල්ලා ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණ ද ක‍්‍රීඩා අමාත්‍යංශය එම මුදල අනුමත කර නොමැත. 
ක‍්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම නිසා ජාතික ක‍්‍රීඩා සංගම් කිහිපයක නිලවරණය ද මේ වන විට ‘කොට උඩ’ තිබේ. 

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය ද ඉන් එකකි. වැඩ බලන ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අධීක්‍ෂණයෙන් එල්ලේ නිලවරණ කමිටුවක් පත්කිරීමට විශේෂ මහ සභාවක් කැඳවුවද එම සභාවට එල්ලේ ක‍්‍රීඩා සමාජ 125 කින් 18 ක් පමණක් සහභාගි වීමෙන් ඝනපූර්ණය පිළිබඳව ගැටලුවක් මතු වී තිබේ. 

ඝනපූර්ණය නොමැතිව හෝ නිලවරණ පවත්වන ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් උපදෙස් ලැබී ඇති බවට දැනගන්නට ඇති අතර එසේ වුහොත් නව ගැටලුවක් නිර්මාණය වනවාට සැක නැත. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය හැර සෙසු ක‍්‍රීඩා සංගම්වල නිලවරණය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ නව රෙගුලාසිවලට අනුව පවත්වන ලෙස ද උපදෙස් ලැබී ඇති බවද ක‍්‍රීඩා පරිපාලනයේ ඇතැම්හු පවසති. 
ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සෙල්ලම කොතනින් නවතීද යන්න දෙස බොහෝ දෙනෙක් බලා සිටිති. 

I යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00