2023 මාර්තු 26 වන ඉරිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් : අයි.සී.සී. එකෙන් තොප්පියක්?

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 156

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වන්නේ යැයි කියන දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට පසුගිය අඟහරුවාදා කටයුතු කිරීම සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නියෝජිතයන් දෙදෙනකු පසුගිය බදාදා මෙරටට පැමිණීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව නැවතත් දැඩි අවදානම් තත්ත්වයකට ඇද වැටුණි. 

ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පසුගිය සතියේ අවසන් කළ විශේෂ විගණන වාර්තාව මෙම මස අග බලාපොරොත්තුවෙන් සිටින බවත් එය ලැබුණු වහාම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කිරීමට ඇතමුන් ඇඟිලි ගනිමින් සිටින බවත් මේ අතර ක‍්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් දැනගන්නට තිබේ.  

අයි.සී.සී. පත් කළ එම විශේෂ කමිටුවට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා සහ බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයේ සභාපති හස්මුල් හක් යන මහත්වරු ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි එම කමිටුව නිර්දේශ කළහොත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකා සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට දෙවරක් නොසිතනු ඇත. එසේ වුවහොත් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන ලෝක කුසලාන තරගාවලි ඇතුළු සියලුම තරගාවලි තහනම් වන අතර එම සභාවෙන් ලැබෙන සියලුම මුදල් ගෙවීම් අත්හිටුවනු ඇත.

ඇතැම් විට ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට සෙසු රටවල් සමඟ පැවැත්වෙන සාමාන්‍ය තරග සංචාර ද අහිමිවීමට තිබේ.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිත අතර සියලුම ක‍්‍රීඩා සංගම්වලට බලපාන පරිදි ක‍්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අධිකරණය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ නිලවරණයට බලපෑමක් නොවනු ඇත. 
කෙසේ වෙතත් එම නිලවරණය වැළැක්වීම පිරිසකගේ මූලික ඉලක්කය වන අතර ඉන් පසුව අතුරු කමිටු මුවාවෙන් ක‍්‍රිකට් පාලන බලය අතට ගැනීම ඔවුන්ගේ අවසන් ඉලක්කය බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා පවසති. 

මීට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට අතුරු කමිටු පත් කළ අවස්ථාවල සහ වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය අතර පැහැදිලි වෙනසක් තිබේ. මීට පෙර අතුරු කමිටු පත් කළ බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මුදල් තත්ත්වය එතරම් හොඳ තත්ත්වයක නොතිබුණි. ඇතැම් අවස්ථාවලදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සතුව සේවක වැටුප් හෝ ගෙවීමට මුදල් නොතිබුණි. 

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඩොලර් මිලියන 20 කට අධික මූල්‍ය වත්කමකින් සන්නද්ධව සිටින අතර වර්තමාන තත්ත්වය මත ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාලනය කිරීමේ හැකියාව තිබේ. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා සහ ප‍්‍රධාන විධායක නිලධාරී අෂ්ලි ද සිල්වා යන මහත්වරු ඩුබායි පිහිටි අන්තර්ජාතික ක‍්‍රිකට් සභා මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවකට ද සහභාගි වූහ. 

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරීන් දෙපළක් පසුගිය බදදා රාත‍්‍රී ශ්‍රී ලංකාවට පැමිණි අතර එම නිලධාරීන් කුමන කටයුත්තක් සඳහා පැමිණියේද යන්න පැහැදිලි නැත. එම නිලධාරීන් නව කමිටුවේ කටයුතු ආරම්භ කිරීමට පැමිණියා ද විය හැකිය. 
ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පැත්තෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගතහොත් අයි.සී.සී.ය නිකම්ම හිඳී යැයි සිතිය නොහැක.  

I සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00