2023 පෙබරවාරි 19 වන ඉරිදා

දකුණු අප්‍රිකාවේදී කප් ගහන අපේ ක්‍රිකට් කෙල්ලෝ!

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 142

දකුණු අප‍්‍රිකාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පළමු තරග දෙකේදී දකුණු අප‍්‍රිකාව සහ බංග්ලාදේශය පරාජය කරමින් දැඩි අවධානය දිනාගැනීමට සමත්ව සිටියි.

මෙම ජයග‍්‍රහණ දෙකත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට ඉතිහාසයේ පළමුවරට ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ දොරටු විවර විය. කෙසේ වෙතත් ප‍්‍රබල ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති තරගයේදී ලැබූ කඩුලු 10ක පරාජයත් සමඟ ශ්‍රී ලංකා බලාපොරොත්තු තරමක් ඈත් විය. 

ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් තරගය නවසීලන්තයට එරෙහිව අද (19) පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව තරගයට පැමිණීමට නම් ශ්‍රී ලංකා පිල අනිවාර්යෙන්ම එම තරගය ජය ලැබිය යුතුව තිබුණි.  ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන්ගේ පිතිකරණය මෙහිදී ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරකයන්ගේ ඇගයීමට සහ දැඩි විමතියට ලක්වූ අතර ශ්‍රී ලංකා තරැණ ක‍්‍රීඩිකාවන් පරිනත වෙද්දී තවත් සටන්කාමී වනු ඇති බවට විස්තර විචාරකයෝ අනාවැකි පළ කළහ. 

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියකදී පිට පිටම තරග දෙකක් ජය ලැබූ පළමු අවස්ථාව මෙය වේ. 

හර්ෂිතා මාධවී සහ නිලක්‍ෂි ද සිල්වා, බංග්ලාදේශයට එරෙහිව තරගයේදී සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාව ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ විස්සයි20 තරගයකදී පැවැත්වූ පළමු ශතක කඩුලු සම්බන්ධතාව වේ.
එම ජයග‍්‍රහණ දෙකේදී ශ්‍රී ලංකා පිලට චමරි අතපත්තු, නිලක්‍ෂි ද සිල්වා, හර්ෂිතා මාධවී, ඉනෝකා රණවීර,  ඕෂධී රණසිංහ සහ සුගන්දිකා කුමාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවන්ගේ අත්දැකීම්වලට 17 හැවිරිදි විශ්මි ගුණරත්නගෙන්ද විශාල දායකත්වයක් ලැබීම කැපී පෙනුණි. 

මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් සත්කාර ප‍්‍රබල දකුණු අප‍්‍රිකානු පිල පරාජය කිරීම තරගාවලිය ආරම්භයේදීම සසළ කළේය. ශ්‍රී ලංකා පිල මෙම තරගයට පෙර දකුණු අප‍්‍රිකාවට එරෙහිව සහභාගි වී තිබූ තරග හතක් අඛණ්ඩව පරාජය පත්ව සිටියේය. ශ්‍රී ලංකා පිල මෙම ජයග‍්‍රහණය ලබන අවස්ථාව වනවිට අයි.සී.සී. කාන්තා විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ පසුවූ අතර දකුණු අප‍්‍රිකාව ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ සිටියේය. 

මීට වසර හත අටකට පමණ පෙර දකුණු අප‍්‍රිකාව යනු ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල පහසුවෙන් ක‍්‍රීඩා කළ කණ්ඩායමක් වුවත් පසුගිය වසර කීපය තුළදී දකුණු අප‍්‍රිකානු පිල ලැබූ දියුණුවත් සමඟ ශ්‍රී ලංකාව ඔවුන් හමුවේ අඛණ්ඩව පරාජය විය. 
දකුණු අප‍්‍රිකානු පිල ලකුණු 126 කට සීමා කරමින් ලකුණු 3 කින් ජය ලැබූ එම තරගයේදී දඟපන්දු යවන්නියන් වන ඉනෝකා රණවීර (18/3),  ඕෂධී රණසිංහ (20/2) සහ සුගන්දිකා කුමාරි (28/2) විශිෂ්ට පන්දු යැවීමක නිතර වූහ. එහිදී එම පන්දු යවන්නන් තිදෙනාගේ වසර ගණනක අත්දැකීම් ප‍්‍රයෝජනයට ගන්නා ආකාරය දැකගත හැකිවිය. 

එහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 129ක් රුස්කළ අතර එහිදී සුපිරි පිතිකාරී චමරි අතපත්තු සහ යොවුන් පිතිකාරි විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ලට ලකුණු 86ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක‍්‍රීඩිකා වන චමරි අතපත්තු එම තරගයේදී පන්දු 50 කදී හතරේ පහර 12 ක් සමඟින් රැස්කළ ලකුණු 68 දකුණු අප‍්‍රිකාව විමතියට පත්කළේය. ශ්‍රී ලංකා වයස 19න් පහළ පිලේ නායිකාව 17 හැවිරිදි විශ්මි ගුණරත්න වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 34 කින් ලකුණු 35 ක් රැස්කිරීමට සමත් වූවාය. 

බංග්ලාදේශයට එරෙහිව තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 127ක ඉලක්කය හඹායද්දී ලකුණු 25ක් තුළ චමරි අතපත්තු ඇතුළු පිතිකාරියන් තිදෙනෙක් දැවී තිබියදී හර්ෂිතා මාධවී සහ නිලක්‍ෂි ද සිල්වා සිවුවැනි කඩුල්ලට ලකුණු 104ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීම ජයග‍්‍රහණයට එකම හේතුව බවට පත්විය. 

එහිදී හර්ෂිතා මාධවී පන්දු 50 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස් කළ අතර එහිදී ඇය ගැසූ හයේ පහර ජාත්‍යන්තර විස්තර විචාරකයන් මවිතයට පත් කළේය. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකා නිලක්‍ෂි ද සිල්වා අමතක නොවන ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 38 කින් නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත් වූවාය. 

ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් රැසක් ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දක්වා තිබුණද ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට එකම ක‍්‍රීඩිකාවක් හෝ තෝරා නොගැනීම බොහෝ දෙනෙක්ගේ අවධානයට පසුගිය සතියේ ලක්වූහ. අවම වශයෙන් සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩිකා චමරි අතපත්තු හෝ ක‍්‍රීඩිකා වෙන්දේසියේදී තෝරා නොගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ක‍්‍රිකට් ලෝලීන් පවා විවේචනය කළහ.  

මෙම සුවිශේෂි ජයග‍්‍රහණ දෙකත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය සතියේ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඇමරිකානු ඩොලර් 250 සිට 750 දක්වා හෙවත් රුපියල් 92,000 සිට 277,000 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත්තේය. මෙම ගාස්තු ඉහළ දැමීමට අමතරව ජයග‍්‍රහණය කරන තරගයට සහභාගි වූ ක‍්‍රීඩිකාවකට ඇමරිකානු ඩොලර් 250 ක ප‍්‍රසාද දීමනාවක් බැගින් පිරිනැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව තීරණය කළ අතර සියලුම තරගවල අතිරේක ක‍්‍රීඩිකාවකට තරග මුදලින් සියයට 25 ක් හෙවත් රුපියල් 70,000 කට ආසන්න ගාස්තුවක් පිරිනැමීමට තීරණය කළේය.

මෙම ගාස්තු ඉහළ දැමීම ලෝක කුසලාන තරගාවලියේ ජයග‍්‍රහණ දෙකකට අදාළ වන අයුරින් පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබුණි. තරග ගාස්තු ඉහළ දමන ලෙස කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් අවස්ථා කීපයකදී ඉල්ලීම් කළද කණ්ඩායමේ දස්කම් ඉතාමක් පහළ මට්ටමක පැවතීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීහු පසුගිය කාලයේ එම ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන්හ. 

කෙසේ වෙතත් මෙම දස්කම් දැක්වූ පළමු අවස්ථාවේදී ක‍්‍රිකට් ආයතනය තරග මුදල් සියයට 200 කටත් වැඩි මුදලින් වැඩි කිරීම කැපී පෙනුණි.

I යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00