2022 දෙසැම්බර් 18 වන ඉරිදා

ක්‍රිකට් පිටියේ දිය යටින් ගින්දර ගෙනියන කට්ටිය

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 510

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය අතරතුරදී සිදුවූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය ඇතුළු සිද්ධි දඩමීමා කරගනිමින් පිරිසක් ක‍්‍රිකට් පරිපාලන බලය ලබාගැනීමට උත්සහ කරද්දී ජාතික කණ්ඩායමේ බලය ලබාගැනීමට ඇතැම් ක‍්‍රීඩකයන් උත්සාහ කරන බව පසුගිය සතියේ සිදුවීම්වලින් පැහැදිලි විය. 

මෙම තත්ත්වය හමුවේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ‘අළුයට ගිනි’ රස්නය මේ පිළිබඳව දැනුමැත්තන්ට දැනුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය සතිය වනවිට අලුත් ගැටලුවක් නිර්මාණය කරගැනීම වඩාත් බරපතල තත්ත්වයකි.

ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට ‘නව නායකයෙක්’ එසේ නැත්නම් ‘ඊළඟ නායකයා’ නම් කිරීමට පවා ඇතැම් ක‍්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් කටයුතු කර තිබුණි. ඒ අතර වාරයේ එක්දින සහ විස්සයි20 ජාතික කණ්ඩායම්වල නායකත්වය දරන දසුන් ශානක ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය සහ ඇතැම් ප‍්‍රසිද්ධ මාධ්‍ය හරහා පුවත් පළකර තිබුණි. 

ලංකා ප‍්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ තරග අතරතුරදී දසුන් ශානක විනය විරෝධීව හැසිරුණු බවට තරග තීරකවරයා තීරණය කර දඩයක් සහ දඬුවම් ලකුණු පැනවීමේ සිද්ධිය පසුගිය සතියේ කරළියට පැමිණියේ නායකත්වය ලබාගැනීමේ මෙහෙයුමේ ප‍්‍රතිඵලයක් ලෙසය. 

එම දඩ පැනවීම ජනමාධ්‍යයේ පළවන විට දඬුවම පනවා සතියක පමණ කාලයක් ගත වී තිබුණි. දසුන්ට දඩය පැනවීමෙන් දින කිහිපයකට පසුව වෙනත් ක‍්‍රීඩකයන් කිහිපදෙනකුට එවැනිම ආකාරයේ දඬුවමක් ලැබීම මාධ්‍යවල පළවීමත් සමඟ අදාළ ක‍්‍රීඩකයන් හෝ නායකත්වය ඇස යොමා සිටින වෙනත් ක‍්‍රීඩකයෙක් දසුන්ට එරෙහිව මඩ ව්‍යාපාරය ආරම්භ කළ බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. 

ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ පසුගිය සතියේ හැසිරීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන් අතර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට පෙර පැවැති සමගිය සහ කණ්ඩායම් හැඟීම අද වනවිට නොමැති බවත් මීට පෙරද නායකත්වය ඉල්ලා සිටි ක‍්‍රීඩකයෙක් නායකත්වය ලබාගැනීමට මෙහෙයුමක් දියත්කර ඇති බවත් ප‍්‍රදර්ශනය විය. 

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ක‍්‍රීඩකයන් සම්බන්ධ සිද්ධීන් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ‘අයියා’ගේ කනට වැටීම පිටුපසද ක‍්‍රීඩකයන් සිටින බව දැනගන්නට තිබේ. ආසියානු කුසලාන ජයග‍්‍රහණය කර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ද අසාර්ථකයි කිව නොහැකි ලෙස ක‍්‍රීඩා කළ දසුන් ශානක ප‍්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට දිගු ගමනක් යෑමේ අවස්ථාව තවමත් තිබේ. මොනයම් හෝ ක‍්‍රමයකින් නායකත්වය ගැනීමට උත්සාහ කිරීමෙන් කණ්ඩායමක් හැටියට ගොඩනඟාගත් ශක්තිය දුර්වල වීම වැළැක්විය නොහැක. 

ජාතික කණ්ඩායමේ නායකත්වය හෝ වෙනත් වරප‍්‍රසාද ලබාගැනීමට ඇතැම් ක‍්‍රීඩකයන් උත්සාහ කිරීමෙන් කණ්ඩායම ඉතාමත් දුර්වල තත්ත්වයට පත්වූ අවස්ථාවට ශ්‍රී ලංකාව තුළ ඕනෑවටත් වඩා උදාහරණ තිබේ. මෙය ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක් අවශ්‍ය මොහොතක්ද යන්න පිළිබඳව මෙහිදී පළමුවෙන්ම අවධානය යොමු කළ යුතු කරුණ වේ. ඕස්ට්‍රේලියාවේදී සිදුවූ ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් දසුන් ශානක වගකිව යුතු නම් කණ්ඩායමේ කළමනාකරුට ඉන් එහාට ගිය වගකීමක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

දසුන් ශානක සහ ඊළඟ නායකයා ලෙස නම කියවෙන තුන් ඉරියව් ක‍්‍රීඩකයා එකම වයසේ පසුවන්නන් වීම නිසා එය නිවැරුදි තීරණයක් නොවන බව ක‍්‍රිකට් ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇති අතර අනාගත නායකයෙක් නිර්මාණය කිරීමට නම් කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි තරුණ ක‍්‍රීඩකයෙක් යොමු කළ යුතු බව ඔවුන්ගේ අදහසය.

කණ්ඩායමේ ස්ථානය ස්ථිර නොමැති ක‍්‍රීඩකයෙක් නායකත්වයට පත්කළහොත් කණ්ඩායමට අගතියක් වන අතර ඒ හේතුවෙන් දසුන් නායකත්වයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ නොමැති බව බොහෝදෙනාගේ මතයයි. 

තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට ඔහු තුළ ඇති ක්‍රිකට් කුසලතා ආරක්‍ෂා කරගත යුතු යැයි ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා ඇතුළු බොහෝදෙනා පවසති. ප‍්‍රබල ක‍්‍රීඩා පවුලක සාමාජිකයෙක් වන චාමික කරුණාරත්න ක‍්‍රීඩා කීපයකින් ජාතික මට්ටමේ දස්කම් දැක්වූ ක‍්‍රීඩකයෙකි. චාමික, රාජකීය විදුහලේ ශිෂ්‍යයෙක්ව සිටියදී මලල ක‍්‍රීඩා සහ බැඩ්මින්ටන් ඇතුළු ක‍්‍රීඩා රුසකින් දස්කම් දැක්වූ වාර්තා තැබූ ක‍්‍රීඩකයෙකි.  

ඔහු එල්.පී.එල්. තරගයක උඩ පන්දුවක් රුකගැනීමට යෑමේදී පන්දුව කටේ වැදී අනතුරකට ලක්ව දත් හතරක් ගැලවී පසුගිය සතියේ ගොස් ශල්‍යකර්මයකට ලක්විය. වෙනත් ක‍්‍රීඩකයෙක් නම් එවැනි ශල්‍යකර්මයකට ලක්වීමෙන් පසුව සති කීපයක් විවේක ගන්නවාට සැක නැත.

කෙසේ වෙතත් ‘කැන්ඩි ෆැල්කන්ස්’ පිල නියෝජනය කරන චාමික කරුණාරත්න ශල්‍යකර්මයෙන් දිනකට පසුව සහභාගි වූ තරගයේදී පන්දු 16 කින් නොදැවී ලකුණු 26 ක් රුස්කරමින් තරගයේ වීරයා ලෙසද සම්මාන හිමිකරගත්තේය. එම තරගයේදී ක‍්‍රිකට් නීති කඩ කිරීමේ චෝදනාවට වරදකරු වූ චාමික කරුණාරත්නට දඩයක් පැනවීමට සහ දඬුවම් ලකුණු 2ක් එකතු කිරීමට තරග තීරකවරයා නිර්දේශ කළ බවද වාර්තා විය. 

චාමික මෙම තත්ත්වයෙන් ගලවා ගැනීමට ක‍්‍රිකට් බලධාරීන් කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් චාමික කරුණාරත්න නැමැති සටන්කාමියාගේ සේවය ශ්‍රී ලංකාවට අහිමිවනු ඇත.


I සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00