2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

මේ ආදරය අදහගන්න බෑ - දසුන් ශානක

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 149

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ආසියානු ක‍්‍රිකට් කිරුළද, ශ‍්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු කිරුළද, පසුගිය ඉරිදා (11 වැනිදා) දිනාගැනීම නිසා එදින මුළු රටටම ඉතිහාසයේ වඩාත් සුවිශේෂි දිනයක් බවට පත්විය. මෙම ජයග‍්‍රහණ දෙකත් සමඟ ලොව පුරා විසිරී සිටින ශ‍්‍රී ලාංකිකයෝ විවිධ ආකාරයෙන් ජය සමරන්නට වූහ. ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් පාකිස්තානය පරාජය කිරීම එහිදී වඩාත් කැපී පෙනුණි.

ආසියානු ක‍්‍රිකට් ශූරතා දිනූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමඟ ඡායාරූපයක් ගැනීමට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන ක‍්‍රීඩාංගණනයට විසිකරන තරමට උද්දාමයට පත්ව සිටි ආකාරය දැකගත හැකිවිය. ශ‍්‍රී ලාංකිකයෝ එම ඓතිහාසික අවස්ථාවේදී දසුන් ශානක, චාමික කරුණාරත්න සහ භානුක රාජපක්ෂ ආදී ක‍්‍රීඩකයන් සමඟ ඡායාරූපයක් ගැනීමට ජීවිතයේ වඩාත් සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස සැලකූහ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය 12 වැනිදා රාත‍්‍රී නැවත ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ආවේද ඩුබායි නරගයේ ප‍්‍රධාන හෝටලයක පැවැති ඇගයීමේ උත්සවයක සිටය. එම උත්සවයට ඕනෑම කෙනෙකුට ඩිරාම් 170ක් හෙවත් ශ‍්‍රී ලංකා රුපියල් 17,000 ගෙවා සහභාගි වීමේ අවස්ථාව තිබූ අතර ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එම උත්සවයට ද මුදල් ගෙවා සහභාගි වී සිටියහ.

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති අවසන් මහ තරගයේ ඩිරාම් 150ක් 200ක් වූ ප‍්‍රවේශ පතක් ඩිරාම් 500ක් හෙවත් රුපියල් 50,000ක් ඉක්මවා අලෙවි වූ ආකාරයද දැක ගත හැකි විය. අවසන් මහා තරගය නැරඹීමට ක‍්‍රීඩාංගණයට පැමිණ සිටි 24,000 කට ආසන්න ප්‍රේක්ෂකයන්ගෙන් 20,000 කට ආසන්න ප‍්‍රමාණයක් පකිස්තානු ආධාරකරුවන් වූ අතර 3,000ක පමණ ශ‍්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂාව එම පිරිසගේ ශබ්දයට දෙවැනි නොවීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් මෙම තරගාවලිය පුරා ලැබුණු සහයෝගය පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වඩාත් විශ්මයට පත්ව සිටියහ.

''ඩුබායිවල ඉන්න මිනිස්සු අපිට පුදුම ආදරයක්නේ තියෙන්නේ. මට නම් හිතා ගන්නත් අමාරුයි'' යයි ශ‍්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක ගුවන්තොටුපොළේදී  පැවසීය. එම ආදරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් ලැබුණේද ඊට නොදෙවෙනි ප‍්‍රතිචාරයකි. හතරෙ සීමා අසල පන්දු රැකී සියලුම ක‍්‍රීඩකයෝ ඉඟියකින් හෝ ප්‍රේක්ෂකයන්ට ප‍්‍රතිචාර දැක්වීමට අමතක නොකළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණයෙන් පසුව ඩුබායි ක‍්‍රීඩාංගණයෙන් පිටත්වීමට සූදානම් වනවිට තරගාවලියට සේවය සැපයූ සහ ක‍්‍රීඩාංගණයේ කටයුතු කළ ඩුබායි ජාතිකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රීතිඝෝෂා කරමින් සුබපැතීම සුවිශේෂී සිද්ධියකි.
ශ්‍රී ලංකාව ලැබූ එම සුවිශේෂ ජයග‍්‍රහණය පිළිබඳව අවසන් තරගයේදී පරාජය ලැබුවද පාකිස්තානු ජාතිකයන් තුළ හෝ කහටක් නොතිබුණි. පාකිස්තානු ආධාරකරුවන් ඩුබායි ක‍්‍රීඩාංගණයෙන් පිටව ගියේද ශ්‍රී ලංකාවට ජයවේවා යැයි පවසමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ගතවීම සඳහා ඩුබායි ගුවන් තොටුපලේදී වඩාත් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

''මම නම් පුදුම වාසනාවන්තයෙක්. කුසලානය සහ ඔබ සමඟ ෆොටෝ එකක් ගැනීමට ලැබෙයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. ඩුබායිවල ජීවත්වන ජනතාව තරගයෙන් පසුව ක‍්‍රීඩකයන් සමඟ ඡායාරූප ගන්නා විට මටත් හිතුනා මටත් එහෙම වාසනාවක් තිබුණා නම් හොඳයි කියලා. නමුත් අහම්බෙන් හෝ මටත් ඒ අවස්ථාව ගුවන්තොටුපළේදී ලැබීම භාග්‍යයක් ලෙස සලකනවා” යැයි  ඕස්ට්‍රේලියාවේ සිට ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ශ‍්‍රී ලාංකිකයකුට ඩුබායි ගුවන්තොටුපළේදී දසුන් සහ ආසියානු ක‍්‍රිකට් කුසලානය සමඟ ඡායාරූපයක් ගැනීමට ලැබීම ගැන පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකන් ගුවන්යානයට ගොඩවීමෙන් පසුව පියාසර කිරීම ආරම්භ කිරීමට පෙර එහි කාර්ය මණ්ඩලය සුබපැතැම් එක්කළ අතර එහිදී ජාති හෝ රටවල් බේදයකින් තොරව මගීන් සියලුම දෙනා අත්පොළසන් දී සුබ පැතීය. තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්න උඩු ගුවනේදී සියලුම මගීන් වෙත ගොස් බොහෝ දෙනකු සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපවලට පෙනී සිටීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකාව ලැබූ අති විශිෂ්ට ජයග‍්‍රහණය ක‍්‍රිකට් විස්තර විචාරයන්ට අනාවැකි පළකිරීමේදී දෙවරක් නොව කීපවරක් කල්පනා කර අදහස් පළකිරීම හුරුකිරීමේ අවස්ථාවක් බවට පත්විය. ඉන්දීය හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්බීර් මෙම තරගාවලියේ ප‍්‍රධාන විශේෂඥ විස්තර විචාරයකුව සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව පළකළ අදහස් ඔහුගේ ප‍්‍රතිරූපයට කැළලක් විය. ශ්‍රී ලංකා ජයග‍්‍රහණයෙන් පසුව ඔහු ශ්‍රී ලංකා ධජයද ප‍්‍රදර්ශනය කළ ආකාරය දැකගත හැකිවිය. 

ශ්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ පසුගිය 11 වැනිදා සත්කාරක සිංගප්පූරුව ලකුණු 63-53 කින් පරාජය කරමින් පිට පිටම දෙවැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරියන් බවට පත්වූහ. 

ආසියානු ක‍්‍රිකට් සහ දැල්පන්දු ශූරතා දෙක දිනූ කණ්ඩායම් දෙක පසුගිය අඟහරුවාදා පෙවරුවේ කටුනායක ගුවන්තොටුපොළින් මව්බිමට පැමිණි අතර එම කණ්ඩායම් දෙක ගුවන්තොටුපළේ සිට විවෘත රථ දෙකකින් කොළඹට රුගෙන එනු ලැබීය. එහිදී කටුනායක සිට කොළඹ දක්වා මඟ දෙපස රුස්ව සිටි ජනතාවගෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සුබපැතුම් හිමිවිය. 

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා ගයාංජලී අමරවංශ පැවසුවේ මෙවැනි ඇගයීමකට ලක්කිරීම පිළිබඳව වඩාත් සතුටට පත්වන බවත් එය ශ්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩාවේ දියුණුවට වඩාත් ප‍්‍රයෝජනවත් විය හැකි බවත්ය.

යොහාන් භාසුර, ඩුබායි සංචාරයෙන් පසු....