2022 අගෝස්තු 28 වන ඉරිදා

පළමු ඉලක්කය ඇෆ්ඝනිස්තානය බිම දා ගැනීමයි

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 93

''ඇෆ්ඝනිස්තානයට එරෙහිව පළමු තරගය ජය ලැබීමයි පළමු ඉලක්කය. ඉන්පසුව බංග්ලාදේශයට එරෙහිව තරගයට නිදහසේ අවතීර්ණ වෙන්න පුළුවන්. මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒම අපේ අරමුණ'' යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක දසුන් ශානක පැවසීය. 

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ පළමු වටයේ තරග ආරම්භ කරමින් ඊයේ (27) ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගයට සහභාගි වීමට සූදානමින් සිටි අතර සැප්තැම්බර් මස 1 වැනිදා පළමු වටයේ දෙවැනි සහ අවසන් තරගයට බංග්ලාදේශයට එරෙහිව ක‍්‍රීඩා කිරීමට නියමිතව තිබුණි. 

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය ‘බී’ කාණ්ඩයේද, ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං ‘ඒ’ කාණ්ඩයේ ද, පළමු වටයේ තරග කරන අතර එම වටයේ වැඩිම ප‍්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් හතර ‘සුපිරි 4’ වටයට සුදුසුකම් ලබයි. ‘සුපිරි 4’ වටයේදී එක රටක් සෙසු කණ්ඩායම් තුනට එරෙහිව තරග කර වැඩිම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙකට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ.

මෙවර ආසියානු කුසලාන සටනට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලට විස්සයි20 ජාත්‍යන්තර තරග 50 ක ආසන්න සංඛ්‍යාවකට ක‍්‍රීඩා කර ඇති ක‍්‍රීඩකයන් කිහිපදෙනකු සමඟ තරුණ ක‍්‍රීඩකයන් රුසක් ඇතුළත්ව සිටිති. අත්දැකීම් සපිරි ක‍්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක සහ නායක දසුන් ශානක මෙන්ම ලෝක මට්ටමේ ක‍්‍රීඩකයකු වන වනිඳු හසරංග කණ්ඩායමට ඇතුළත්ව සිටිති. 

භානුක රාජපක්‍ෂ, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක සහ චරිත් අසලංක තරුණයන් වුවද තරගයක් වෙනස් කිරීමේ හැකියාවෙන් යුත් බව ප‍්‍රදර්ශනය කළ ක‍්‍රීඩකයෝ වෙති. මෙම කණ්ඩායමට පළමු වටයේදී ඇෆ්ඝනිස්තාන් සහ බංග්ලාදේශ අභියෝග ජයගෙන ‘සුපිරි 4’ වටයේදී ඉන්දියාව සහ පාකිස්තානය යන ප‍්‍රබලතම අභියෝගවලට මුහුණදීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව 2018 ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ඇෆ්ඝනිස්තානය හමුවේ පරාජයට පත්වන විට දසුන් ශානක එම කණ්ඩායම නියෝජනය කිරීම නිසා ඔහු ඇෆ්ඝනිස්තානයට වැඩි බර තැබීමක් කර ඇතිවාට සැක නැත. ආසියානු කුසලාන තරගාවලි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් තීරණාත්මක සංන්ධිස්ථාන කිව හැකිය. ඒ අතරින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී 2018 වසරේ පැවැති අවසන් ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය අමතක කළ නොහැක. 

එක්දින තරග ලෙස පැවැති 2018 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල පළමු වටයේදී ඇෆ්ඝනිස්තානය සහ බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීමෙන් වසර 34ක ආසියානු කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය. එහි ප‍්‍රතිපලයක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ව්‍යාකූල තත්වයකට පත්විය. 

1984 වසරේ සිට මේ දක්වා පැවැති ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලි 14 දී ශ්‍රී ලංකා පස්වරක් ශූරයන් බවට පත්ව හයවරක් අනු ශූරයන් බවට පත්ව තිබේ. 

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම:

දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්‍ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහේෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප‍්‍රවීන් ජයවික‍්‍රම, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුසංඛ, මතීෂ පතිරණ, අසිත ප‍්‍රනාන්දු සහ ප‍්‍රමෝද් මධුෂාන්

 සටහන: යොහාන් භාසුර