2022 අගෝස්තු 07 වන ඉරිදා

කුඩම්මාගේ සැලකිල්ලට පදක්කමෙන් පිළිතුරු දුන් යුපුන්

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 123

යුපුන් අබේකෝන් පසුගිය බ්‍රහස්පතින්දා (4 වැනිදා) අළුයම වසර 24කට පසුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩාවෙන් පදක්කමක පහස ලැබීමේ භාග්‍යය ශ්‍රී ලාංකිකයන්ට උදාකර දීමට සමත් විය.

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී දැන් පැවැත්වෙන XXII වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් කාලයකට පසුව ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය ප්‍රචාරය කළේය.

යුපුන් එහිදී තත්ත්පර 10.14ක කාලයක් වාර්තා කළ අතර ඔහුට ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වන තත්ත්පර 9.96ට ආසන්න වීමේ හැකියාව ලැබුණේ නම් රන් පදක්කම දිනාගැනීමේ අවස්ථාව තිබුණි. එහි රන් පදක්කම දිනූ කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමාන්යාලා තත්ත්පර 10.02කින් තරගය නිමකළ අතර රිදී පදක්කම දිනූ හිටපු පොදුරාජ්‍ය මණ්ඩලයීය වේගවත්ම මිනිසා වන දකුණු අප්‍රිකාවේ අකානි සිම්බින් තත්ත්පර 10.13ක කාලයක් වාර්තා කළේය.

ලොව ප්‍රබල ක්‍රීඩකයන් රුසක් ඇතුළුව ක්‍රීඩකයන් 70ක් සහභාගි වූ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ පළමු වටයේ හොඳම තරග නිමි කාලයද යුපුන් වාර්තා කිරීම කැපී පෙනුණි. යුපුන් මූලික වටයේ තරගය තත්ත්පර 10.06කින් අවසන් කිරීමට සමත් විය.

ඔහු අවසන් පූර්ව වටයේදී තත්ත්පර 10.20ක කාලයක් වාර්තා කරමින් අවසන් 27 දෙනාගෙන් අටවැනි තැනට පැමිණෙමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

මෙම ක්‍රීඩා උළෙලේදී ද යුපුන්ගේ ආරම්භය සෙසු ක්‍රීඩකයන්ට සාපේක්ෂව මන්දගාමී වූ අතර යුපුන් ඔවුන් සමඟම ආරම්භයක් ලබාගත්තේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි. කෙසේ වෙතත් 26 හැවිරිදි යුපුන්ට දිගු ගමනක් යාමට කාලය ඉතිරිව තිබීම නිසා ඔහුට අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යෑමේ මඟ සකස් කළ යුතුය.

හිටපු ධාවන ශූර සුගත් තිලකරත්න මීටර 400 ඉසව්වෙන් සහ හිටපු කෙටි දුර ධාවන ශූරී ශ්‍රියානි කුලවංශ මීටර් 100 කඩු පැන දිවීමේ ඉසව්වෙන් 1998 වසරේ ක්වාලාලම්පූර් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩාවෙන් පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ගේ ''කුඩම්මාගේ සැලකිල්ලට'' ලක්ව සිටි යුපුන් පසුගියදා මීටර 100 ඉසව්ව තත්ත්පර 9.96කින් නිමකරමින් සමස්ත ලෝකයේම අවධානය දිනා ගැනීමෙන් පසුව එම ජයග්‍රහණය ශ්‍රී ලංකාව අයිති නැති බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමග සමස්ත ශ්‍රී ලාංකිකයන් ඔහු පිළිබඳව කතා කළහ.

එම අවධානයේ ප්‍රතිඵලයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යුපුන්ගේ බර කරට ගෙන ඔහුට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය.

බර ඉසිලීමේ ක්‍රීඩක ඉසුරු කුමාර, ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම දිනාදීමට සමත් විය. ඉසුරු කිලෝග්‍රෑම් 55 බර පංතියේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
මෙම ක්‍රීඩා උළෙලේ පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් 30 හැවිරිදි පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනාගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සමත් විය.

  සටහන : යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00