2022 ජුනි 26 වන ඉරිදා

පරාජිත සමාජයට ක්‍රිකට් විජයග්‍රහණයේ සතුට

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 128

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් තරුණයන් පිරිවරාගත් ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව පිට පිටම එක්දින තරග තුනක් ජය ලබමින් පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබීය. 
ප‍්‍රබල ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගාවලිය ජය ලැබීමට සමත් වූහ. 

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර 2004 වසරේ සිට මේ දක්වා තරග පහකින් සමන්විත එක්දින තරගාවලි 5 ක් පවත්වා ඇති අතර මීට පෙර තරගාවලි හතරෙන්ම ඕස්ට්‍රේලියාව ජය ලබා සිටියේය.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග පහකින් සමන්විත එක්දින තරගාවලියක් ජය ලැබූ පළමු අවස්ථාව මෙය වීම මෙම ජයග‍්‍රහණයේ තවත් සුවිශේෂීත්වයකි. 

මෙය ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වසර 30කට පසුව ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ එක්දින තරගාවලි ජය වන අතර ශ්‍රී ලංකාව අවසන් වරට 1992 වසරේ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ජය ලබා සිටියේය. 

ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්, ඒරන් ෆින්ච්, මිචෙල් මාෂ් සහ ග්ලේන් මැක්ස්වෙල් වැනි ප‍්‍රබලයන්ගෙන් සන්නද්ධ ප‍්‍රබල ඕස්ට්‍රේලියානු ක‍්‍රිකට් කණ්ඩායම පිට පිටම තරග තුනකදී පරාජය කිරීම එතරම් පහසු කාර්යයක් නම් නොවේ. 

පැතුම් නිස්සංක, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ සහ මහේෂ් තීක්‍ෂණ වැනි වඩාත් යොවුන් ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම ප‍්‍රබල ඕස්‍්ට්‍රේලියානු පිල පරාජය කිරීම මෙහි වඩාත් කැපීපෙනෙන තත්ත්වය බවට පත් විය.

තරගාවලිය ජයග‍්‍රහණය සඳහා අඩිතාලම දමමින් සිව්වැනි තරගයේදී චරිත් අසලංක රැස්කළ ශතකය (110) සහ තුන්වැනි තරගයේ ශ්‍රී ලංකා ජයග‍්‍රහණයේ නියමුවා වූ පැතුම් නිස්සංක රැස්කළ ශතකය (137) ඕස්ට්‍රේලියානු ක‍්‍රිකට් අභිමානයට අභියෝග කළේය. 

තවමත් 19 වැනි වියේ පසුවන තුන් ඉරියව් ක‍්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද මෙම ජයග‍්‍රහණයේදී ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන චරිතයක් බවට පත්විය. වයස 19 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට පිවිසි වෙල්ලාලගේ කිසිදු ආධුනික ගතියක් නොපෙන්වා  ඕස්ට්‍රේලියාවට යාවට අභියෝග කළ ආකාරය කැපී පෙනුණි. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන්ට තිත්ත වී තිබූ ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෙම ජයග‍්‍රහණයත් සමඟ නව ජීවයක් ලැබීය. එම ජීවය ප‍්‍රදර්ශනය කරමින් තුන්වැනි සහ සිව්වැනි එක්දින තරග දෙක නැරඹීමට 30,000කට අධික  ‍ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් ආර්. ‍ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයට පැමිණ සිටියහ. 

ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ තේරීම් කමිටුව එක්දින නායකත්වයෙන් ඉවත් කළ දසුන් ශානකට වටිනාකමක් හිමිවීම මෙම ජයග‍්‍රහණයේ තවත් මහඟු ප‍්‍රතිඵලයක් විය. 

මෙම තරගාවලිය පුරා දසුන් නායකයකු ලෙස ප‍්‍රදර්ශනය කළ හැකියාව ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ ඇගයීමට ද ලක්විය.

දසුන්ට පමණක් නොව දසුන්ගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ට මේ වන විට විශාල වටිනාමක් හිමිව තිබේ.  

සිව්වැනි තරගයේ වීරයා වූ චරිත් අසලංක පැවසුවේ නායකයා ලෙස දසුන් අයියා කණ්ඩායම මෙහෙයවන ආකාරයේ පැහැදිලි වෙනසක් ඇති බවත් ඔහු තරගයෙන් පිටතදී වඩාත් සුහදශීලීව කටයුතු කරන බවත්ය.

‘‘දසුන් කණ්ඩායම තුළ නිර්මාණය කළ කණ්ඩායම් හැඟීම ජයග‍්‍රහණ හැටියට එළියට ආවා.’’ යැයි ද එහිදී අසලංක පවසා තිබුණි.  

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකයා සහ පුහුණුකරු උපක‍්‍රමයක් ලෙස යොදාගත් ඉලක්කම් සංඥා පුවරුවක් පිළිබඳ කතාබහට ලක්ව තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන අවස්ථාවේදී පුහුණුකරු සහ නායකයා පන්දු යවන්නන් යෙදවීම පිළිබඳව මෙම ඉලක්කම් ක‍්‍රමයෙන් තොරතුරු හුවමාරු කර ගන්නා අතර බොහෝ කණ්ඩායම් මෙම ක‍්‍රමය යොදාගන්නා බව ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරකයෝ පැවසූහ. 

ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ මෙම ජයග‍්‍රහණය ජයග‍්‍රහණ වැලක ආරම්භයක් බවට පත් කරගත යුතුව තිබේ. ඒ සඳහා පළමුවෙන්ම කළ යුතුව ඇත්තේ දසුන්ගේ නායකත්වයෙන් යුත් මෙම තරුණ කණ්ඩායමට අඛණ්ඩව නිදහසේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව දීමය. 

පරණ පුරුදු ආකාරයට කණ්ඩායම වෙනස් කිරීම වැනි දේවල්වලින් දසුන් සමඟ බැඳුණු කණ්ඩායම විසිරීමේ ඉඩ තිබේ. 

 සටහන: යොහාන් භාසුර