2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

විනිසුරු උදුරාගත් ලංකාවේ ජයග්‍රහණය

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 467

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි 20 විස්ස ක්‍රිකට් තරගයේ ජය විනිසුරුවන් විසින් ශ්‍රී ලංකාවෙන් උදුරාගත් බවක් මට හැඟේ. ඊට හේතු වූයේ මධ්‍යස්ථ විනිසුරුවන් ක්‍රීඩා පිටියේ නොමැති වීමය. ඔස්ට්‍රේලියාව පන්දුවට පහර දුන් අවස්ථාවේ කඩුල්ල මුවා කිරීමේ වරදට  දැවීයාම් දෙකක් පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවට නොලැබී ගියේ DRS හෙවත් තීරණ සමාලෝචන පද්ධතිය මගින් එය විනිසුරන්ගේ තීරණය (umpire’s call) ලෙස තීරණය කළ බැවිනි. මෙම දැවීයාම් එකක් හෝ නිශ්චිතවම දැවීයාමක් බව පියවි ඇසින් වුව දැකිය හැකි විය.  ඉන්පසු ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමේදී ඔස්ට්‍රේලියානුවන් විසින් යවන ලද අවසාන පන්දුවට කලින් යැවූ පන්දුව වයිඩ් පන්දුවක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.

එහි පුනරූපණයේදී මධ්‍යස්ථ ක්‍රීඩා විස්තර විචාරකයකු වන ෂේන් වෝන් පවා ප්‍රකාශ කළේ එම පන්දුව වයිඩ් පන්දුවක් බවයි. එම පන්දුව වයිඩ් පන්දුවන් ලෙස නම් කළා නම් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු හතර ලබා ගැනීමට අවකාශ තිබිණි.

මා මේ සටහන තබන්නේ සෑම ඉනිමකටම අතිරේක විමසුම් අවස්ථාවක් ලබා දී ඇති අතර දේශීය විනිසුරුවන් අති සාර්ථකව කටයුතු කරන හෙයින් මධ්‍යස්ථ විනිසුරුවන් තව දුරටත් අනවශ්‍ය බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  විවිධ අවස්ථාවන්හි ප්‍රකාශ කරන පසුබිමක් යටතේය. මෙම තීරණය සම්බන්ධයෙන් මා එකඟ නොවන්නේ විනිසුරුවරයාගේ තීරණය (umpire’s call) මගින් දේශීය විනිසුරුවන්හට තම රටේ කණ්ඩායමට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමට අවකාශ සැලසෙන බැවිනි. එවැනි තීරණ මගින් තීරණාත්මක හැරවුම් ලක්ෂයක් නිර්මාණය විය හැකිය. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි බලවත් රටවල් එකිනෙකා සමඟ ක්‍රීඩා කරන විට මෙම තත්ත්වය වෙනස් විය හැකිය. එහෙත් මෙම රටවල් තමන්ගේ භූමියේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය වැනි රටවල් සමඟ ක්‍රීඩා කරන විට මෙවැනි සිදුවීම් විශාල ලෙස දැකිය හැකිය. එහෙයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මා ඉල්ලා සිටින්නේ කඩිනමින් මධ්‍යස්ථ විනිසුරුවරුන් යළි පත් කරන ලෙසටය. එමගින් ක්‍රිකට් ක්‍රීඩාව සැමට සමාන බවත් අක්‍රමිකතා ඇතිවීමට අවස්ථාවක් නොමැති බවත් ලොවට ප්‍රදර්ශනය කළ හැකිය.

එමෙන්ම පසුගියදා පැවැති ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගය කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එම තරගයේ විනිසුරු තීරණය හිමිවූයේ බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහිවය. එමෙන්ම ඉන්දියාව පන්දු වාර 20 යැවීම සඳහා දෙපැයක කාලයක් ගත්තේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති ඇත්තේ කොහේද? ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගයේදී යාර 30 සීමාවෙන් පිටත රුඳවිය හැකි පන්දු රකින්නන්ගේ සංඛ්‍යාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් පැනවීමට ඔවුහු පියවර ගත්හ.

ඉන්දියාවට දඩයක් පැනවූ බව මට මෙතෙක් වාර්තා වී නොමැත. මෙවැනි ද්විත්ව රංගනයක් සිදුවන්නේ ඇයි? මෙවැනි ක්‍රියා මගින් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය සහ එහි ක්‍රිකට් කමිටුව අපකීර්තියට පත්විය හැකිය. මෙවැනි ක්‍රියා වහා අත්හිටුවිය යුතුය. මේ සම්බන්ධයෙන් හඬක් නැඟිය යුතුය.

I ලලිත් විදානගමගේ