2022 ජනවාරි 29 වන සෙනසුරාදා

ඇෆ්ගන් වාසනාවට යටවූ ලංකාවේ සාර්ථක ගමන

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 195

දුනිල් වෙල්ලාලගේ මෙහෙයවන ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව්හිදී දැන් පැවැත්වෙන XXV වැනි වයස 19 න් පහළ ලෝක ක‍්‍රිකට් තරගාවලියේ සාර්ථක ගමන අර්ධ අවසන් පූර්ව තරගයෙන් අවසන් වීම පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ දී සිදු විය.

ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ ලැබූ ලකුණු 4ක තියුණු පරාජයත් සමඟ ප‍්‍රධාන තරගාවලියේ ස්ථානය අහිමි විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 135ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 46 කදී ලකුණු 130කට සීමා වූ අතර එහිදී ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ සහ මැද පෙළ සියලුම පිතිකරුවන් අසාර්ථක වීමෙන් පරාජය වැළඳ ගැනීමට සිදු විය.

නායක දුනිත් වෙල්ලාලගේ (34) සහ රවීන් ද සිල්වා (21) අටවැනි කඩුල්ලට ලකුණු 69ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පෙනෙන මානයට ගෙන ඒමට සමත් වුවද ඇෆ්ගනිස්ථානු පිල සතුව වාසනාව රැඳී තිබුණි.

ඇෆ්ගනිස්ථානු පිල ලකුණු 134කට සීමා කිරීමේ ප‍්‍රමුඛයා වෙමින් දකුණතින් වේග පන්දු යවන කොළඹ නාලන්දා විදුහලේ විනුජ රන්පුල් ලකුණු 10කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. 

නායක දුනිත් වෙල්ලාලගේ මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිල සාර්ථකත්වයට රැගෙන ගිය සාධකය බවට පත්වූ අතර දුනිල් මෙහිදී ද ලකුණු 36කට කඩුලු 3 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පළමු වටයේ තරග තුනම ජය ලබා අපරාජිතව අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා කලකට පසුව සාර්ථක ගමනක් එමින් සිටියහ.

ශ්‍රී ලංකාව මෙම පරාජයත් සමඟ තරගාවලියේ 5 වැනි ස්ථානය සඳහා දකුණු අප‍්‍රිකාවට එරෙහිව හෙට (31) තරග කිරීමට නියමිතය. දකුණු අප‍්‍රිකාව පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය හමුවේ පරාජයට පත් විය.

ඇෆ්ගනිස්ථානු යොවුන් කණ්ඩායම් පසුගිය වසර 10ක පමණ කාලය තුළ ලෝක කුසලාන තරගාවලිවලදී නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසු විය. මෙවර ද ඇෆ්ගනිස්ථානු යොවුන් ක‍්‍රීඩකයෝ එම සාර්ථකත්වය ප‍්‍රදර්ශනය කළහ.

ශ්‍රී ලංකාව 1988 සිට මේ දක්වා පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලි 14කට සහභාගි වුවද ශූරතාව දිනාගැනීමට නොහැකි වී තිබේ. ශ්‍රී ලංකාවේදී 2000 වසරේ පැවැති III වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී මලින්ත ගජනායකගේ නායකත්වයෙන් අනු ශූරයන් බවට පත්වීම එදා මෙදා තුර යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ස්ථානය වේ.

මීට වසර 22කට පෙර ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සාමාජිකයන් 11 දෙනාගෙන් ජෙහාන් මුබාරක්, තිළිණ කණ්ඩම්බි, මුතුමුදලිගේ පුෂ්පකුමාර, කෞෂාල් ලොකුආරච්චි, කෞෂල්‍ය වීරරත්න, අකලංක ගනේගම සහ ප‍්‍රභාත් නිශ්ශංක යන ක‍්‍රීඩකයන් හත්දෙනා පසුව ජාතික කණ්ඩායම නියෝජනය කළහ.

මෙම තරගාවලියේදී දස්කම් දැක්වූ යොවුන් ක‍්‍රීඩකයන් ආරක්‍ෂා කර ගැනීමට නම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අද සිටම සැලසුම් සකස් කළ යුතුය. දුනිල් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, සදීෂ රාජපක්‍ෂ, ෂෙවෝන් ඩැනියල් සහ විනුජ රන්පුල් ඇතුළු ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන් ආරක්‍ෂා කිරීමට දැන් සිට කටයුතු කළ යුතුය.

ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය පෙබරවාරි 1 වැනිදා පැවැත්වීමට නියමිතය. 

ඔස් ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර සහ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් දෙක දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි.

මෙවර යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන පෙබරවාරි මස 5 වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ වෙනස්කම් රැසක් කරමින් පසුගිය සතියේ වැඩ ඇරඹීය. එහිදී හිටපු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග, ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල ‘උපායමාර්ගික’ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත්කිරීම විශේෂයෙන් කැපී පෙනේ.

මාලිංග එම කණ්ඩායම්වලට සීමා නොවී තරුණ ක‍්‍රීඩකයන්ගේ උපදේශකයකු ලෙස සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ නම් එය වඩාත් ප‍්‍රතිඵලදායක වනු ඇත. 

 සටහන: යොහාන් භාසුර