2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පොඩ්ඩෝ ඉදිරියටම...

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 160

‘කොවිඩ්’ හේතුවෙන් යටපත් වූ මෙවර යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය දස්කම් මතින් පණ ගැන්වීමට ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ මේ වනවිට සමත්ව සිටිති. ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යනවිට වෙනදා මෙන් උත්සව අඬබෙර ආදිය නොතිබුණු අතර කොළඹ තරු පංතියේ හෝටලයකට කොටු වී සිටි ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ සද්දයක් නොමැතිව තරගාවලිය සඳහා පිටත්ව ගියෝය. ඒ හේතුවෙන් යොවුන් ලෝක කුසලානය පැවැත්වෙන්නේද යන්න පවා බොහෝ දෙනෙක් නොදැන සිටියහ.

බටහිර ඉන්දීය කොදෙව්හිදී දැන් පැවැත්වෙන වයස 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල දස්කම් දැක්වීමට සමත්වීමත් සමඟ බොහෝ දෙනෙකුගේ දැඩි අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ දෙවැනි තරගයේදී ඕස්ට්‍රේලියාව පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකා යොවුන් පිළ පිළිබඳව තොරතුරු සොයන්නන් සංඛ්‍යාව ඉහළ ගියේය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීහු මේ දිනවල ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිලේ නායක දුනිත් වෙල්ලාලගේ පිළිබඳව තොරතුරු සොයමින් සිටිති. දුනිත් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 52ක් රුස්කරමින් කඩුලු 5ක් ද දවාගැනීම නිසා ඔහු කෙරෙහි දැඩි අවධානය යොමු වී තිබේ.

මරදාන ශාන්ත ජෝශප් විදුහලේ තුන් ඉරියව් ක‍්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පිටියට නම් ආධුනිකයෙක් නොවේ. ඔහු මීට පෙරද ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල නියෝජනය කරමින් දස්කම් දැක්වූ අතර ඔහු පසුගිය යොවුන් ලෝක කුසලාන තරගාවලියටද සහභාගි වීම සඳහා දස්කම් දක්වා තිබුණද ඔහු තෝරාගැනීම සඳහා බලධාරීහු දක්‍ෂ නොවූහ.

‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් පාසල් ක‍්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි වීම නිසා මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නා තරම්ය. දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, ෂෙවොන් ඩැනියල්, මතීෂ පතිරණ සහ අභිෂේක් ලියනාරච්චි යන ක‍්‍රීඩකයෝ ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් පිටියේ නම් දරා සිටිති.

මෙම ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී ස්කොට්ලන්තය ලකුණු 40 කින් පරාජය කළ අතර එහිදී මැද පෙළ පිතිකරු සකුණ ලියනගේ ලකුණු 85 ක් රැස්කිරීම නිසා ශ්‍රී ලංකා පිල ලකුණු 218 ක් දක්වා පැමිණියේය. දුනිත් වෙල්ලාලගේ ලකුණු 27 කට පිතිකරුවන් පස්දෙනෙක් දවාගැනීමෙන් ස්කොට්ලන්තය ලකුණු 178 කට සීමාවිය.

වෙල්ලාලගේ ලකුණු 28 කට කඩුලු 5ක් දවාගැනීමෙන් දෙවැනි තරගයේදී  ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 175 කට සීමා කළ ශ්‍රී ලංකා පිල එම ඉලක්කය ඕවර 37 කදී සම්පූර්ණ කිරීමට සමත් විය. එහිදී දුනිත් වෙල්ලාලගේ පන්දු 71 කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් රුස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය. වෙල්ලාලගේ එම තරග දෙක අවසන් වනවිට  ඕවර 19 කදී ලකුණු 55 කට කඩුලු 10ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත්ව සිටියේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ‘ඩී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකාව මෙම සටහන තබන මොහොත වනවිට සහභාගි වූ තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 4ක් සමඟින් පෙරමුණේ පසුවිය.

ශ්‍රී ලංකා පිල පසුගිය සිකුරාදා (21 වැනිදා) සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පළමු වටයේ අවසන් තරගයට සහභාගි වීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා යොවුන් පිල එම තරගයෙන් ජය ලැබුවහොත් කිසිදු බාධාවකින් තොරව අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලංකා යොවුන් පිලේ පුහුණුකරු ලෙස හිටපු ආරම්භක පිතිකරුවෙක් වන අවිෂ්ක ගුණවර්ධන මහතා කටයුතු කරන අතර අවිෂ්ක අවදානම් මෙන්ම විශේෂ තීරණ ගන්නා පුහුණුකරුවෙක් ලෙස ප‍්‍රසිද්ධියක් උසුලයි. ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම්වල උපදේශක පුහුණුකරු වන හිටපු සුපිරි ක‍්‍රීඩක මහේල ජයවර්ධනද ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් පිල සමඟ සිටීම නිසා තරගාවලිය තුළ සැබෑ වෙනසක් වීමට ඉඩ නැතුවා නොවේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සෙසු කාණ්ඩවල තරග රුසක් ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත අතර ඒ හේතුවෙන් එම කාණ්ඩවලින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් ප‍්‍රකාශ කිරීමට මේ අවස්ථාව ඉක්මන් වැඩිය.

වයස 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සියලුම තරගාවලිවලට සහභාගි වී තිබුණද ශූරයන් වී නොමැත. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන මෙවර වයස 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ලබන පෙබරවාරි මස 5 වැනිදා අවසන් වීමට නියමිතය.  

 සටහන: යොහාන් භාසුර