2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මලල ක්‍රීඩා සංගම් නිලවරණය; නාමයෝජනා 5ක් ඉවතට: සුදුස්සනුත් කැපිලා

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 0

ක‍්‍රීඩා සංගම්වල නිලවරණ නව ක‍්‍රීඩා නීතියට අනුව පැවැත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවේ දියුණුව සහ පැවැත්ම යන අංශ දෙකට අත්‍යඅවශ්‍ය නිලධාරීන් ඉවතට විසිවන තත්ත්වයක් මතුවී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රීඩා සංගමයක් වන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ඉදිරි නිලවරණයට නාම යෝජනා කැඳවීම පසුගිය සඳුදා අවසන් විය. එහිදී උප සභාපති දූරයට නාම යෝජනා බාරදුන් නිලධාරීන් පස් දෙනකුගේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂේප වූ අතර ඒ අතරින් සිවුදෙනකුම හිටපු නිලධාරීන් වීම කැපී පෙනුණි.

මෙම නිලධාරීන් බහුතරයකට නව ක‍්‍රීඩා නීතියට අනුව සුදුසුකම් නොමැතිවීම නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වීමට ප‍්‍රධාන හේතුව බවට පත්ව තිබේ. එම නිලධාරීන් පස්දෙනාගෙන් තිදෙනකුම ශ්‍රී ලංකා යුද හමුදා කර්නල්වරුන් වීම වඩාත් කැපී පෙනෙන සිද්ධියකි. මෙම තත්ත්වයත් සමඟ මෙම නිලධාරීන් මීට පෙර සුදුසුකම් නොමැතිව තනතුරු දරා ඇති බවට ඇතැමුන්ට තර්ක කළ හැකිය. එම නිලධාරීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තනතුරුවලට ඉදිරිපත් වූවෝ වෙති.

විශ‍්‍රාමික කර්නල් මංජුල පෙරේරා මහතා මලල ක‍්‍රීඩා පරිපාලනය පිළිබඳව අත්දැකීම් ඇති නිලධාරියෙකි. ඒ මහතා වෙනුවට යුද හමුදා මලල ක‍්‍රීඩා පරිපාලනයට පැමිණි කර්නල් චන්දන රණවීර මහතාගේ නාම යෝජනාව ද ප‍්‍රතික්‍ෂේප විය.

පස්වරක් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධූරයේ කටයුතු කර ඇති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ක‍්‍රීඩා සමාජ 20ක කැමැත්තෙන් මෙවරද නාමයෝජනා බාර දුන්නේය. හිටපු කෙටි දුර ධාවන ශූර වර්තමාන සභාපති සුගත් තිලකරත්න මහතාට පාලිත ප‍්‍රනාන්දු මහතා සමඟ තරග කර ජය ලැබිය නොහැකි බව මලල ක‍්‍රීඩා පරිපාලනය පිළිබඳව දැනුමැත්තෝ පවසති. එම නිසාදෝ සුගත් තිලකරත්න උප සභාපති ධූරය සඳහා ද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි. ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් 99% ක්ම ත‍්‍රිවිධ හමුදාව නියෝජනය කරන අතර එයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරති.

ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී යුද හමුදාවෙන් ඉදිරිපත් වූ නිලධාරීන් තිදෙනාගේම නාම යෝජනාම ප‍්‍රතික්‍ෂේප වීම සාධාරණ නොවන බවට තර්කයක් ඉරිපත් වුවහොත් එය ද සැළකිල්ලට ලක්විය යුතුය.

එම තර්කය මත බැලීමේදී ක‍්‍රීඩා නීතියේ පැවැති ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් පත්වීමේ වගන්තිය ඉවත් කිරීම ක‍්‍රීඩාවට හානියක් වන බව පෙනී යයි.

♦ සටහන: භාසුර