2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

ඡන්ද 147ක ක්‍රිකට් නිලවරණ සූදුව

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 422

මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා දිනන්න පුළුවන් වෙයි. නමුත් ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙලා නම් දිනන්න බැරි බව මම දන්නවා” යැයි ශ‍්‍රී ලංකා හිටපු සුපිරි පිට දඟපන්දු යවන ක‍්‍රීඩක ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාද වන මුත්තයියා මුරලිදරන් මහතා වරක් පවසා තිබුණි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණ පිළිබඳ දැනුම ඇත්තන්ට මුත්තයියා මුරලිදරන්ගේ එම ප‍්‍රකාශය පිළිබඳව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඡන්දය මාෆියාවකට හසුව මේ වනවිට දශක දෙකකට අධික කාලයක් ගතව තිබේ. 
1996 ලෝක ශූර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතාද පසුගියදා පැවසුවේ අවම වශයෙන් වසර දෙකක කාලයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත්කළ යුතු බවයි. එහිදී රණතුංග මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම සහ පළමුපෙළ ක‍්‍රිකට් තරගාවලිය වෙනස්කර තරගකාරී මට්ටමකට ගෙන ඒම ප‍්‍රධාන යෝජනා දෙකක් ලෙස ඉදිරිපත් කළේය.  

වර්තමාන ක‍්‍රීඩා ඇමතිතුමාට ක‍්‍රිකට් හදන්න බැරිනම් වෙන කාටවත් බෑ. මට දුන්නොත් මම හදනවා. හැබැයි වෙන වෙන අය ඇඟිලි ගහන්න බෑ” යැයි අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට මාරුවෙන් මාරුවට එකම පිරිසක් පත්වන බවද මෙහිදී එල්ල වූ ප‍්‍රධාන චෝදනාවකි. පසුගිය වසර 10ක පමණ කාලය තුළ එසේ පත්වූ පාලකයන් නිවැරුදි සැලැස්මකට අනුව කටයුතු කළේ නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉහළ තැනක තිබිය යුතුය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට ක‍්‍රීඩා සමාජ, දිස්ත‍්‍රික් සහ පළාත් සංගම් නියෝජනය කරන පුද්ගලයන් 147 කට අවස්ථාව ලැබීම දැඩි විවේචනයට ලක්ව තිබේ. මෙම ඡන්ද හිමි ඇතැම් ක‍්‍රීඩා සමාජ ක‍්‍රිකට් ක‍්‍රීඩා නොකරන බවටද චෝදනා තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය දියාරු වීම සහ මෙම ඡන්ද සංඛ්‍යාව අතර ගහට පොත්ත වැනි සම්බන්ධතාවක් පවතී. ඡන්දය ලබාගැනීමේ අරමුණින් ඇතැම් ක‍්‍රීඩා සමාජ පළමු පෙළ දක්වා උසස් කළ බව ප‍්‍රසිද්ධ රහසකි. 

ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දස්කම් අතර ඉදිරියෙන් සිටින ඕස්ට්‍රේලියාව ඉන්දියාව, එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව යන රටවල්වල පළමුපෙළ තරගාවලිවලට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව අතේ ඇඟිලි සංඛ්‍යාවටත් වඩා අඩු මට්ටමක පවතී. එසේ වුවද ශ්‍රී ලංකාවේ නම් මෙම ක‍්‍රීඩා සමාජවලින් ඡන්දය ලබාගැනීමට ක‍්‍රිකට් පරිපාලනයට එන පුද්ගලයෝ විවිධ උපක‍්‍රම අනුගමනය කරති. ඡන්දය ප‍්‍රකාශ කරන නිලධාරීන් රැසක්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතේ වැටුප් ලබන විවිධ තනතුරු දරති. ඡන්දය ලබාගැනීමේ අරමුණින් ක‍්‍රීඩා සමාජවලට රුපියල් මිලියන ගණනින් මුදල් ලබාදීමද පසුගිය පාලන කාලවලදී අඩු වැඩියෙන් දැකිය හැකිවිය.  

ලෝක ක‍්‍රිකට් පිටියේ ඉදිරියෙන්ම සිටින  ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය ආදි රටවල්වල ක‍්‍රිකට් ප‍්‍රධානීන් පත්කිරීමේදී ඡන්ද 20කට අඩු සංඛ්‍යාවක් පැවතීම මෙහිදී කැපී පෙනේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දුර්වල වන අවස්ථාවලදී පරිපාලනයට චෝදනා එල්ල වුවද කාලයත් සමඟම පාලකයෝ හිස ඔසවති. ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ වර්තමාන දස්කම් දෙස අවධානය යොමු කිරීමේදී මේ අවස්ථාවේදී නිලවරණයකට වඩා කණ්ඩායමට ප‍්‍රමුඛත්වය ලැබිය යුතු බවට විවාදයක් නැත.
සාමාජිකයන්ගේ ඡන්දයෙන් බලයට එන ක‍්‍රිකට් පරිපාලකයන්ට විවිධ චෝදනා එල්ල වන්නේ කාලයක සිට වුවද වරින්වර පත්වන ක‍්‍රීඩා ඇමතිවරුන් අතුරු කමිටු පත්කිරීම හැරෙන්නට වෙනත් පියවරක් මේ දක්වා ගෙන නොමැත. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ක‍්‍රීඩා පාලක සභාවේ සභාපති ධූරයට හිටපු නායකයකු මෙන්ම ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ පිළිගැනීමක් ඇති මහේල ජයවර්ධන මහතා පත්කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳව දැඩි අවධානයක් ඇති බව ප‍්‍රදර්ශනය කළේය. 
අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ඉන් නොනැවතී හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක‍්‍රිකට් උපදේශන කමිටුවක්ද පත්කිරීමට පියවර ගත්තේය. එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කීර්තිමත් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර යන මහත්වරු කටයුතු කරති. මුරලිදරන් මහතා පවසා තිබුණේ තම කමිටුවේ අරමුණ ක‍්‍රිකට් පරිපාලනය කිරීම නොව ක‍්‍රිකට් කණ්ඩායමේ දස්කම් ඉහළට ගෙන ඒම බවයි. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2021 වසරේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට මේ වනවිට දින යොදාගෙන තිබේ. ඒ සඳහා වන නාමයෝජනා බාරගැනීම මේ මස 24 වැනිදා අවසන් වේ. මෙම නිලවරණය කැඳවීමත් සමග අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීතිරීති පද්ධතිය කඩ කිරීම, ක‍්‍රීඩා පනත උල්ලංඝනය කිරීම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මුදල් රෙගුලාසි කඩකිරීම ඇතුළු විවිධ චෝදනා එල්ල වූ පිරිස් ක‍්‍රීඩා සමාජ නියෝජිතයින්ට සාද සංවිධානය කරන බවද දැනගන්නට ලැබුණි. 
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීමට නොහැකි පුද්ගලයන් ක‍්‍රීඩා සමාජ නියෝජිතයන් හරහා කැම්පේන් කරමින් ඡන්දය ලබාගැනීමෙන් අතීතයේ සිදුවූ රූකඩ සංදර්ශන නැවත නැරඹීමේ හැකියාව ලැබෙනු ඇත. තමන් ඉදිරිපත් කළ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ප‍්‍රකාශ කරමින් මෙවර ද සිය ගෝලයක් පිරිසක් ඡන්දයට ඉදිරිපත් කිරීමට චෝදනා ලැබූ හිටපු සභාපතිවරයෙක් කටයුතු කරමින් සිටියි. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් තහනමක් පනවා ඇති පුද්ගලයන් ක‍්‍රීඩා සමාජ නියෝජිතයන් රැස්කිරීමද නීති විරෝධී ක‍්‍රියාවක් බවත් ඒ බව නොදැන ඇතැමුන් එවැනි රැස්වීම්වලට සහභාගී වන බවත් ක්ෂේත්‍රය තුළ කතා පැතිර තිබේ.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පසුගියදා මාධ්‍ය වෙත පවසා තිබුණේ කිසියම් චෝදනාවකට වරදකරුවකු වී දඬුවම් කාලය අවසන් වූ ක‍්‍රීඩා පරිපාලකයකුට තවත් වසර පහකට පෙර නැවත ක‍්‍රීඩා පරිපාලනයට පැමිණීමට නොහැකි වන ලෙස නව ක‍්‍රීඩා පනත සකස් කරන බවයි. මෙවර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයටද පැරණි මුහුණු රුසක් තරග කිරීමට සූදානම් වන බව දැනගන්නට තිබේ. එම කීපදෙනාගෙන් කවුරුන් හෝ නැවතත් ක‍්‍රිකට් සභාපති ධූරයට පත්වීමට බොහෝදුරට ඉඩ තිබේ. 
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට පාර්ලිමේන්තු ‘කෝප්’ කමිටුවේදීද චෝදනා එල්ල වූ අතර එම චෝදනාවලට කුමක්වේද යන්න පිළිබඳව ලබාසිටීම පමණක් කළ හැකිය. වර්තමාන පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවද වර්තමාන ක‍්‍රිකට් නිලධාරීන් කැඳවා තිබේ. 

යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00