2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

කොවිඩ් අස්සේ ගහන ලංකාවේ එල්.පී.එල්.

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

සමස්ත ශ්‍රී ලංකාව ‘කොරෝනා’ වයිරස‌ෙයන් බැට කද්දී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ලංකා ප‍්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සූදානමින් සිටියි. මෙම තරගාවලිය සෞඛ්‍ය නිර්දේශවලට අනුව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ‘කොවිඩ් 19’ මර්දනය ජනාධිපති කාර්ය සාධක බලකා අනුමැතිය හිමිව තිබේ.

විදේශයන් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට දින 14ක නිරෝධායන කාලය අනිවාර්ය කර තිබුණද මෙම තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන්ට පමණක් එම කාලය දින 7 ක් දක්වා අඩු කිරීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ. දින 14ක නිරෝධායන කාලය මෙම තරගාවලිය සංවිධානය කිරීමට දැඩි බාධාවක් බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් පෙන්වාදීමත් සමඟ මෙම වෙනස සිදුවිය. එම වෙනසත් සමඟ ඇතැම් නමගිය ක‍්‍රීඩකයන් තරගාවලියට සහභාගි වන බව තහවුරු කර තිබුණි.
සූරියවැව සහ පල්ලෙකැලේ යන ක‍්‍රීඩාංගණ දෙකේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම තරගාවලිය සෞඛ්‍ය උපදෙස් මත සූරියවැවට සීමා කෙරිණි. තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන්ට සහ වෙනත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට නිරෝධානය වීම සඳහා හම්බන්තොට නගරයේ හෝටල් තුනක් මේ වනවිටත් වෙන්ව පවතී. තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලය ‘පොකුරක්’ ලෙස කටයුතු කරන අතර සූරියවැව ක‍්‍රීඩාංගණයේ 30 කට ආසන්න සේවකයන්ද නේවාසික ‘පොකුරක්’ ලෙස සේවය ආරම්භ කර තිබේ.  

මෙම තරගාවලිය සඳහා කොළඹ කිංග්ස්, දඹුල්ල ලයන්ස්, යාපනය ස්ටැලියන්ස්, ගාල්ල ග්ලැඩියේටර්ස් සහ මහනුවර ටස්කර්ස් ලෙස කණ්ඩායම් පහක් සහභාගි වෙයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලයන් වන ඇන්ජලෝ මැතිව්ස් (කොළඹ කිංග්ස්), දසුන් ශානක (දඹුල්ල ලයන්ස්), තිසර පෙරේරා (යාපනය ස්ටැලියන්ස්), ලසිත් මාලිංග (ගාල්ල ග්ලැඩියේටර්ස්) සහ කුසල් පෙරේරා (මහනුවර ටස්කර්ස්) එම කණ්ඩායම්වල ‘සුවිශේෂී’ ක‍්‍රීඩකයන් ලෙස නම්කර සිටිති. මෙම ‘සුවිශේෂී’ ක‍්‍රීඩකයන් පස්දෙනා කණ්ඩායම් හිමිකරුවන් සමඟ ඇමෙරිකානු ඩොලර් 60,000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 108ක් බැගින් තරගාවලි කොන්ත‍්‍රාත්තුවකට බැඳී සිටිති.

ලෝක විස්සයි20 ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලයන් වන බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් වන ක‍්‍රිස් ගේල්, ඇන්ඩ්‍රි රසල් සහ පාකිස්තානු හිටපු ප‍්‍රවේගකාරී පිතිකරු සහීඩ් අෆ්රිඩි ඇතුළු විදේශ ක‍්‍රීඩකයන් 30ක් පමණ මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය. මෙම ප‍්‍රබල ක‍්‍රීඩකයන්ට ඩොලර් 50,000 සිට තරග ගාස්තු හිමිවන අතර ක‍්‍රිස් ගේල් වැනි ක‍්‍රීඩකයන් කණ්ඩායම් හිමිකරුවන් සමඟ ඇතිකරගත් එකඟතාවන් මත තරගාවලියට සහභාගි වෙති. එම ක‍්‍රීඩකයන් ඩොලර් 75,000 සිට 100,000 දක්වා ගාස්තුවලට ක‍්‍රීඩා කරන බව වාර්තා වේ. 

ක‍්‍රිස් ගේල් ඇතුළත්ව සිටින මහනුවර ටස්කර්ස් පිල ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ සොහොයුරකුට හිමි අතර යාපනය ස්ටැලියන්ස් පිල ශ්‍රී ලාංකික විශේෂඥ විස්තර විචාරකයකුගේ සහෝදරයකු මිලදී ගෙන ඇති බව වාර්තා වේ. පාකිස්තානු ජාතිකයකු හිමිකම් කියන ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට පාකිස්තානු ක‍්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුළත්ව සිටිති.

තරගාවලියට සහභාගි වීමට නියමිත විදේශ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සමඟ සංචිතවල රැඳී සිටීම ශ්‍රී ලංකා තරුණ ක‍්‍රීඩකයන්ට වඩාත් ප‍්‍රයෝජනවත් වේ. එක කණ්ඩායමකට නිල වශයෙන් නැගීඑන ක‍්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් වන අතර අතිරේක ලැයිස්තුවේද තරුණ ක‍්‍රීඩකයෝ සිටිති.

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසා තිබුණේ මෙම තරගාවලිය තරුණ ක‍්‍රීඩකයන්ට වඩාත් ප‍්‍රයෝජනවත් අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව සඳහා විදේශ ක‍්‍රීඩකයන් ඇතුළත් ලීග් තරගාවලියක් පැවැත්විය යුතු බවට ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ වසර කීපයකට සිට පවසති. ඒ අනුව ‘කොවිඩ් 19’ අවදානම තුළ හෝ ආරම්භයක් ලබාගැනීමට වඩාත් වැදගත් වී තිබේ. 

කොවිඩ් අවදානම දැඩිව පැවැති එංගලන්තය මීට මාස දෙකකට පමණ පෙර ක‍්‍රිකට් තරග ආරම්භ කළ පසුබිමක් තුළ ශ්‍රී ලංකාවද කොතැනින් හෝ තරග ආරම්භ කළ යුතු බව බොහෝ දෙනකුගේ මතයයි. නවසීලන්තය සහ පාකිස්තානය යන රටවල්ද ක‍්‍රිකට් තරග පැවැත්වීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම තරගාවලියේ වියදම් සඳහා රුපියල් කෝටි 23 කට අධික මුදලක් මේ වනවිට වෙන්කර තිබේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය මේ මස 26 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර එම උත්සවයද අඩු පුද්ගල සහභාගීත්වයෙන් සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්වීමට සැලසුම් කර තිබේ. තරග 23 කින් සමන්විත දින 20ක කාලයක් දක්වා විහිදෙන මෙම තරගාවලිය දෙසැම්බර් මස 16 වැනිදා අවසන් වේ. 

 සටහන: යොහාන් භාසුර