ශ්රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඉහළතම ජයග‍්‍රහණය වන 1996 ලෝක කුසලාන ශූරතාවයේ සදාතනික සිහිවටනයක් ලෙස ඉදිරි කෙරෙන 96 ලෙජන්ඩ්ස් ස්කොයාර් සුවිශේෂි ගොඩනැගිලි ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක‍්‍රීඩකයන්ගේ සුබ සාධනය සඳහා රුපියල් ලක්‍ෂ 500ක මුදලක් ලැබීමට නියමිතය.
ක‍්‍රීඩා ජයග‍්‍රහණයක් සැමරීම වෙනුවෙන් මෙවැනි දැවැන්ත ගොඩනැගිල්ලක් ලෝකයේ ඉදිවන පළමු අවස්ථාව මෙය බවද පැවසේ.
ක‍්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදේශයේ ඉදිකෙරෙන මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැල්ටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.
ලෝක කුසලාන ජයග‍්‍රහණයේ 25 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට සැළසුම්කර තිබේ.
ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක‍්‍රිකට් සැමරුම් භාණ්ඩ ප‍්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ‍්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක‍්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වන බව ඉදිකිරීමේ සමාගම පවසයි.
මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක‍්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක‍්‍රීඩකයෝ 14 දෙනා කටයුතු කරති.
මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙමින් කොළඹදී පසුගියදා පැවැති විශේෂ උත්සවයේදී වර්තමාන වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ තමන්ට ඇතුළු කණ්ඩායමට ලෝක කුසලාන ජයග‍්‍රහණය ලැබීමට මඟ සකස් කර දීමට කටයුතු කළ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන බවයි.
1996 ට පෙර ක‍්‍රීඩකයන් නොසිටියේ නම් අපිට 96 වසරේ ලෝක කුසලානය දිනන්න බෑ. ලෝක කුසලානයක් අපිට හීනයක් පමණක් වෙනවා. හිටපු ඇතැම් ක‍්‍රීඩකයන් ආර්ථික දුෂ්කරතාවලට පත්ව සිටිනවා. ඒ නිසා අපි මීට වසර හතරකට පමණ පෙර මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්න සාකච්ඡා කරලා එකඟ වුණා.
අපි ඉදිකිරීම් සමාගමෙන් ලක්‍ෂ 500 කට වැඩි මුදලක් ඉල්ලා තිබෙනවා. මම හිතනවා ලක්‍ෂ 500 ක් ලැබෙයි. ඊට වඩා වැඩි මුදලක් අපි බලාපොරොත්තු වෙනවා
හිටපු කීර්තිමත් ක‍්‍රිකට් පරිපාලකයන් කීප දෙනෙකුත් සම්බන්ධ කරගෙන අරමුදලක් පිහිටුවලා මෙම මුදල් හිටපු ක‍්‍රීඩකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
යොහාන් භාසුර