2020 මාර්තු 14 වන සෙනසුරාදා

ජයගෙන ඇත්තේ තරග 7ක් පමණයි: මාලිංගගේ නායකත්වය ගැටලුවක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 154

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා විස්සයි20 පිල තරග 24කට සහභාගි වී තරග 15ක් පරාජයට පත්ව ඇති අතර තරග හතක් පමණක් ජය ලබා තිබේ. මෙම තත්ත්වය අනුව මාලිංග තවදුරටත් නායකත්වයේ තබාගත හැකිද යන්න ගැටලුසහගතය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව සහ මාලිංග රැකගන්නේ යැයි කියන දේශපාලන හස්තය තේරුම්ගත යුතු දෙයක් තිබේ. එනම් මාලිංග තවදුරටත් තබා ගැනීමෙන් විනාශයට පත්වන්නේ වසර ගණනාවක් හිටපු ක‍්‍රීඩකයන් දහඩිය, ලේ, කඳුළු වගුරුවා නිර්මාණය කරගත් කීර්තිනාමය බවය.

කොදෙව් සංචාරයට පෙර මාලිංග නායකත්වයෙන් ඉවත්කිරීමේ සූදානම් පැවතියද දේශපාලනය ඊට හරස් වූ බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. 

“ක‍්‍රීඩකයන් දක්‍ෂතා දැක්විය යුතුයි. එහෙම වුණොත් පමණයි නායකයා හයිලයිට් වෙන්නේ” යැයි බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව දෙවැනි විස්සයි20 තරගයෙන්ද පරාජයට පත්වීමෙන් පසුව විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග පැවසීය. ලසිත් මාලිංගද එම කණ්ඩායමේ ක‍්‍රීඩකයකු බව මාධ්‍ය හමුවට වාඩිවීමෙන් පසුව ඔහුට අමතක වූයේ දැයි සැකසහිතය. ක‍්‍රීඩකයකු වන මාලිංගගේ ඕවර තුනට කොදෙව් පිතිකරුවන් ලකුණු 46ක් රුස්කළ බව ඔහුට මිනිත්තු කීපයකින් අමතකවීම හාස්‍ය දනවන්නකි. 
“කණ්ඩායමේ නායකත්වය කියන්නේ තරග ජයග‍්‍රහණය කරවන්නම තියෙන හැකියාව නෙවෙයි. තරග ජයග‍්‍රහණය කරවන්න තියෙන හැකියාව තමයි, ක‍්‍රීඩකයන් තරග දිනවන්නන් බවට පත්කර ගැනීම” යැයි මාලිංග එහිදී පැවසීය. 

කණ්ඩායම් ක‍්‍රීඩාවකදී සෑමවිටම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනයෑමේ හැකියාවක් එක ක‍්‍රීඩකයකු වන නායකයාට නොමැති බව පැහැදිලිය. එය මාලිංග විශේෂ කිවයුතු කරුණක් නොවේ. 

“එක්දින තරගාවලියේදීත් එහෙමයි. ඔවුන් ලකුණු අතරට පැමිණයොත්, ක‍්‍රීඩකයන් කඩුලු ලබාගත්තොත් නායකයෙක් හරි පහසුවෙන් හයිලයිට් වෙනවා. නමුත් මම ක‍්‍රීඩා කරන සියලුම තරග ගත්තොත් අපි හරි අමාරුවෙන් තමයි අවශ්‍ය කරන ලකුණු හෝ කඩුලු ලබාගැනීමට දිගටම කරගෙන ගියේ.” ඉහත ප‍්‍රකාශය අනුව මාලිංග නිවැරදිය. එහිදී මාලිංග යථාර්ථය තේරීම් ගෙන තිබේ. 

දිමුත් කරුණාරත්න එක්දින පිලේ නායකත්වයේ කටයුතු කරන ආකාරය අනුව ක‍්‍රීඩකයෝ නිදහසේ ක‍්‍රීඩා කරති. කණ්ඩායමේ එකමුතුව ඇති කිරීමට නම් මාලිංග නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දුන් ක‍්‍රීඩකයන් කණ්ඩායමේ සිටියදී නිදහස පිළිබඳව කුමන කතාද?

“මගේ නායකත්වය නැතිවෙනවද තියෙනවද කියන එක මට ක‍්‍රිකට් ක‍්‍රීඩාකරන්න ප‍්‍රශ්නයක් නොවෙයි. මම බලාපොරොත්තු වෙන්නෙ මට පුළුවන් දේ මොනවද මම ඒ දේ කරලා දෙන්න ලැහැස්තිවෙලා ඉන්නේ. ක‍්‍රීඩකයන්ට පූර්ණ නිදහස දීලා ඔවුන්ගේ දක්‍ෂතාවය දක්වන්න විශ්වාසය ලබාදෙන එක පමණයි මම කරන්නේ. ඒ වගේම ප්‍රැක්ටිකලි මොනවද ඒ ගොල්ලන්නට වෙන්න ඕනේ. විකට් එකක් ගන්නවා නම් අපි මොනවද කරන්න ඕනේ කියන දේ අපි එයත් එක්ක කතාබහ කරනවා. එතකොට එයා තීරණය කරන්න ඕනේ හරි මම මේ දේ තමයි කරන්න ඕන. තමන්ට තියෙන හැකියාවත් එක්ක. හැකියාව වර්ධනය සඳහා තමයි මම මූලිකත්වය දීලා තියෙන්නේ. එතකොට හරිම ලේසියි ඔවුන්ගේ හැකියාව භාවිතා කරලා කණ්ඩායමේ ජයග‍්‍රහණයට යොදාගන්න.”

“නායකයෙක් හිටියත් තරගයකදී සෑම ක‍්‍රීඩකයෙක්ම නායකයෙක් හැටියට කටයුතු කරන්න ඕනේ. මගේ වගකීම උපරිමයෙන් ඉටුකරන්න උත්සහ කළා. මින් ඉදිරියටත් මට අවස්ථාව ලැබුණොත් උත්සාහ කරනවා. මගේ ක‍්‍රීඩාවට නායකත්වය කියන එක බලපෑමක් නොවෙයි.”

මාලිංගගේ ඉහත ප‍්‍රකාශයෙන් පෙන්නේ මාලිංග නායකයාද එසේ නැත්නම් පුහුණුකරුද යන්නයි. ලෝක කුසලාන තරගාවලියේද නායකත්වය දැරීමේ සිහිනයෙන් පසුවන මාලිංගට දැන් අවදිවීමට කාලය පැමිණ තිබේ. 

- වරකාගොඩ ගමගේ