2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ක්‍රිකට් පිලේ තරුණ විප්ලවය

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 150

සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී වසර දෙකකට අධික කාලයකට පසුව පැවැති එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කරමින් ලකුණු 161ක ඉතිහාසගත ජයක් ලබමින් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජයද හිමිකර ගත්තේය.

ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 1975 වසරේ සිට දිග හැරෙන එක්දින ක‍්‍රිකට් කථාවේ 59 වැනි තරගය වූ මෙම තරගය ජය ලැබීමත් සමඟ දෙරටේ ජයග‍්‍රහණ සංඛ්‍යාව 28ක් ලෙස සම විය.

පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයෙන් ශ‍්‍රී ලංකාව ජය ලැබුවහොත් තරගාවලියේ ජය 3-0 ක් ලෙස ලැබීමේ අවස්ථාව තිබේ. ඊට අමතරව ශ‍්‍රී ලංකාවට කොදෙව්වන්ට එරෙහිව ජයග‍්‍රහණ සංඛ්‍යාව 29 ක් බවට පත්කරමින් ඉදිරියට පැමිණීමේ අවස්ථාව තිබේ.

සූරියවැවදී ශ‍්‍රී ලංකා පිල අංශ තුනෙන්ම දස්කම් දක්වමින් සාර්ථක වීම කැපී පෙනුණි. මෙම ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාව කොදෙව් පිලට එරෙහිව ලැබූ වඩාත් විශිෂ්ටතම ජයග‍්‍රහණය බවට පත්විය. එහිදී යොවුන් පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු (127) සහ කුසල් මෙන්ඩිස් (119) ශතක සමගින් තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 239 ක සම්බන්ධතාව වාර්තා පොත අලුත් කළේය. 

එය ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ තුන්වැනි ඉහළතම සම්බන්ධතාව බවටද, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එක්දින පිටියේ තෙවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාව බවටද පත්විය. මෙම සම්බන්ධතාව ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහිව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළතම සම්බන්ධතාවද වේ. තරැණ ක‍්‍රීඩකයන් සාර්ථක වීම ශ‍්‍රී ලංකාවට ඉදිරියේ පැවැත්වෙන තරගාවලිවලට හොඳ පෙරනිමිත්තක් බවට පත්ව තිබේ.

වනිඳු හසරංග පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් අතරට පැමිණීමද කොදෙව් පිලට එරෙහිව තරග දෙකේදී දැකගත හැකිවිය. එය ශ‍්‍රී ලංකා පිලේ සමබරතාව පවත්වා ගැනීමට හොඳ පිටුවහලක් බවට පත්වේ. තරගය අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවේදී අවිශ්ක ප‍්‍රනාන්දු පැවසුවේ මෙම සාර්ථකත්වයට හේතුව හොඳ පුහුණුකරු මඩුල්ලක් ලැබීම බවයි. අවිශ්කගේ ප‍්‍රකාශයේ වලංගු බව තරගයකින් දෙකකින් කිව නොහැකි අතර අවම වශයෙන් සංචාර දෙක හෝ තුනක ප‍්‍රතිඵල දෙස බලාසිටිය යුතුය.

නව ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා වඩාත් උනන්දුවෙන් පුහුණු සැසි මෙහෙයවූ ආකාරය සූරියවැවදී දැකගත හැකිවිය. ඒ මහතාගේ අවධානයෙන් ක‍්‍රීඩකයන්ට ගැලවිය නොහැකි බව පෙනුණි. නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවට සහභාගි වියයුතු නිසා ඔහුගේ පුහුණු කටයුතු කලින් අවසන් කරන ලෙස කළමනාකරු අසන්ත ද මෙල් මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී මිකී ආතර් මහතා පැවසුවේ ඔහුගේ පුහුණුව නොනවත්වන ලෙසත් ඒ සඳහා තමන් සහභාගි වන බවත්ය.  

මිකී ආතර් ඇතුළු පුහුණුකරුවන් මඩුල්ල අඛණ්ඩව මෙම උනන්දුවෙන්ම කටයුතු කළ හොත් අවිශ්කගේ ප‍්‍රකාශය ප‍්‍රශස්ථ කිරීමේ හැකියාව තිබේ.

සූරියවැව ක‍්‍රීඩාංගණයේ තරග නැරඹීමට පැමිණි  ප්‍රේක්‍ෂකයන් පිරිසක් ආරක්‍ෂක අංශ ප‍්‍රහාරයකට ලක්වීම එතරම් අනුමත කළ නොහැකි තත්ත්වයක් වන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසු දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා එයට සමාව අයැද සිටියේය.  

 යොහාන් භාසුර, සූරියවැව සිට...