2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ජාතික ඔලිම්පික් කමිටුවේ පැරෂුට් බැස්සීම

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 132

ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන නිලධාරීන්ට අනුන්ගේ පානෙන් එළිය බැලීමට විශේෂ හැකියාවක් ඇති අතර එවැනි උත්සාහයක් මේ වනවිට අතේ පත්තු වී ඇති බව දැනගන්නට තිබේ. ස්වීඩනයේ සහ ශ‍්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අසුන් පැන්නවීමේ ක‍්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් මෙම වසරේ ජූලි මස ජපානයේදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ බවට මුලදී ජාතික ඔලිම්පික් කමිටුව මාධ්‍ය සංදර්ශනයක් ක‍්‍රියාත්මක කළේය. 

ඔලිම්පික් කමිටුව මෙම මාධ්‍ය සංදර්ශනය සඳහා රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් වියදම් කර ඇති බවද දැනගන්නට ලැබේ. මාධ්‍ය සංදර්ශනයට සහභාගි වීම සඳහා මැටිල්ඩා කාල්සන් අවස්ථා කීපයකදී ශ‍්‍රී ලංකා පැමිණියාය. මැටිල්ඩාගේ ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනයෙන් අහිමිකර ඇති බව වාර්තා විය. එම සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව මැටිල්ඩාට එම අවස්ථාව අහිමි වී ඇති බව ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනය පසුගිය සතියේ නිවේදනය කර තිබුණි. නැගෙනහිර ආසියානු  ඕෂනියා කලාපයෙන් මැටිල්ඩා සුදුසුකම් ලබා සිටි අතර මේ වනවිට එම කලාපයේ අවස්ථාව චීන තායිපේ සහ හොංකොං යන රටවල්වල ක‍්‍රීඩිකාවන්ට ලබාදී ඇති බවද වාර්තා වේ. 

මැටිල්ඩා සහභාගි වූ ඇතැම් තේරීම් තරගාවලිවල ප‍්‍රතිඵල අවලංගු කිරීමට ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනය කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව ශ‍්‍රී ලංකා අශ්වාරෝහක සම්ම්මේලනය පවසා තිබුණි. ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනයේ තීරණයට එරෙහිව ස්විට්සර්ලන්තයේ පිහිටි ක‍්‍රීඩා බේරුම්කාර අධිකරණයේ නඩු පැවරීමට ශ‍්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනය සූදානම් වන බව එහි සභාපති සුරංජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණි. 

මෙම අධිකරණ කටයුත්ත වෙනුවෙන්ද විශාල මුදලක් වැයවනවාට සැක නැත. එම වියදම ජාතික ඔලිම්පික් කමිටුව විසින් දරනු ලබනු ඇතැයි විශ්වාස කිරීමට සිදුවේ. මැටිල්ඩා, ශ‍්‍රී ලංකාවේ පුහුණුවීම් කළ ක‍්‍රීඩිකාවක් නොවන අතර ඇයට පුහුණුවීම් කිරීමට ශ‍්‍රී ලංකාවේ පහසුකම් නැත. එවැනි ක‍්‍රීඩිකාවක් වෙනුවෙන් අපේ මුදල් වැයකරමින් අධිකරණයට යෑම කොතරම් ප‍්‍රයෝජනවත් තීරණයක්ද යන්න සලකා බැලිය යුතුය. 

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ආරම්භ වීමට තවත් මාස හයකටත් වඩා අඩු කාලයක් තිබුණද ශ‍්‍රී ලංකාවෙන් කිසිදු ක‍්‍රීඩාවකින් ක‍්‍රීඩකයෙක් හෝ ක‍්‍රීඩිකාවක් ඒ සඳහා සුදුසුකම් ලබා නොමැත. වසර 10කට ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරැ දරන ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන නිලධාරීන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවේ වර්තමාන කඩාවැටීමට වගකිව යුතු එක් පාර්ශ්වයක් වේ. 

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ගේ කාලය සිට ප‍්‍රධාන වගකීම බවට පත්ව තිබුණේ ක‍්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කිරීම නොවන අතර සිය බලය රැකගැනීම සඳහා ජාතික ක‍්‍රීඩා සංගම් නිලධාරීන් දපනෙට හසුකරගැනීමයි. ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රීඩා සංගම් නිලධාරීන් ඇල්ලීම සඳහා විදේශ සංචාර, ක‍්‍රීඩා කණ්ඩායම් ප‍්‍රධානී, කණ්ඩායම් කළමනාකාරී, පුහුණුකරු ආදී තනතුරු, මුදල් ප‍්‍රදාන ආදි වරප‍්‍රසාද වරදාන ලබාදෙමින් ඡන්ද ගොඩ වැඩිකර ගත්තේය. 

ජාතික ඔලිම්පික් කමිටුව පැරෂුට්කරුවන්ගෙන් ගොඩයෑමට දරන උත්සාහයට ශ‍්‍රී ලංකා ජනතාව විරෝධය පළකළ යුතුය. පැරෂුට්කරැවන් බැස්සවීමේ යටි අරමුණ පිළිබඳව ශ‍්‍රී ලංකා ජනතාව දැනුවත් විය යුතුය. ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකාවෙන් කිසිදු ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් සුදුසුකම් නොලැබුවහොත් ජාතික ඔලිම්පික් කමිටුවේ කීපදෙනකුට හැරෙන්නට නඩයකට ටෝකියෝ සාප්පු සවාරිය යෑමේ අවස්ථාව අහිමි වේ. සුදුසුකම් ලබා හෝ නොලබා එසේ නැත්නම් පැරෂුට්කරුවන් හැටියට හෝ කීපදෙනකු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වුවහොත් නඩයක් ගෙන යෑමේ අවස්ථාව ලැබේ. 

ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය වසරේ පැවැති ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියේදීද මෙම උපක‍්‍රමයම අනුගමනය කළේය. එම තරගාවලියට සහභාගි වූ එකම ක‍්‍රීඩිකාව වූයේ ඇමරිකාවේ ජීවත්වන හිරුණි කේසරා විජේරත්නය. ජාතික ඔලිම්පික් කමිටුව මට්ටු කිරීමට තවදුරටත් බලා නොසිටිය යුතුය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට එරෙහිව කොතරම් පෙත්සම් ගියද දේශපාලන අධිකාරිය තවමත් ඒ සඳහා අත තබා නැත.

 වරකාගොඩ ගමගේ

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00