2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

සූරියවැවට යළි ක්‍රිකට් ගෙනයන කොදෙව්වෝ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 201

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ලබන බදාදා (26 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා පිල අතර දෙවැනි එක්දින තරගය පැවැත්වීමට නියමිතය. මෙම තරගය දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙය සූරියවැව ක‍්‍රීඩාංගණයේ වසර දෙකහමාරකට අධික කාලයකට පසුව එසේ නැත්නම් මාස 31 කට අධික කාලයකට පසුව පවත්වන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගය වීම මෙහිදී කැපී පෙනේ.

මෙම ක‍්‍රීඩාංගණයේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 2017 වසරේ ජූලි මස 8 වැනිදා පැවැති අතර ඉන් අනතුරු ජාතික කණ්ඩායම් දෙකක් අතර තරගයක් පවත්වා නොමැත. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලැබීමෙන් පසුව ඇති වූ දේශපාලන පෙරළිය නොවන්නට සූරියවැව ක‍්‍රීඩාංගණයේ තරගයක් පැවැත්වෙන කාලය තවත් දීර්ඝ වනවාට නම් සැක නැත. 

ශ්‍රී ලංකාවේදී 2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අලුතින්ම ඉදිකළ මෙම ක‍්‍රීඩාංගණය පසුගිය ආණ්ඩුව සමයේ වල්වැදීමට ඉඩහරිනු ලැබීය. එම කාලය තුළ ක‍්‍රීඩාංගණය යම් තරමකට පවත්වාගෙන ගියද ප‍්‍රධාන ගොඩනැගිල්ල සහ ඊට ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් පිහිටි මාධ්‍ය ගොඩනැගිල්ල විනාශ වීමට ඉඩහැර තිබූ ආකාරය දැකගත හැකිවිය. එම කාලය තුළ මෙම ක‍්‍රීඩාංගණය පිළිබඳව පාර්ලිමේන්තුවේ පවා කථාබහට ලක්විය. 

මෙම ක‍්‍රීඩාංගණය ඉදිකර තිබෙන ස්ථානය සහ එම ප‍්‍රදේශයේ අඩු පහසුකම් පිළිබඳව ප‍්‍රශ්නයක් තිබේ. එය එසේ වුවද රුපියල් කෝටි ගණනක මුදලක් වැය කරමින් ඉදිකළ මෙම ක‍්‍රීඩාංගණය දැන් ශ්‍රී ලංකාව සතු සම්පතකි. එය රැකගැනීම ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පාලකයා වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ යුතුකමකි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ක‍්‍රීඩාංගණය ඉදිකළේ කාගේ කාලයේද, එහි නම කාගේද, කාගේ දේශපාලන බල ප‍්‍රදේශයේ එය පිහිටා ඇද්ද යන්න අදාළම නැත.   

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ එහි තරග නැරඹීමට ප්‍රේකයන් නොපැමිණෙන බවයි. සූරියවැව නගරයේ සිට කිලෝමීටර හතක් පමණ දුරකින් පිටිහි මීගහජඳුර ප‍්‍රදේශයේ මෙම ක‍්‍රීඩාංගණය පිහිටා තිබේ. ක‍්‍රීඩාංගණයට ආසන්නම ප‍්‍රධානතම නගරය වන හම්බන්තොට නගරයට ක‍්‍රීඩාංගණයේ සිට කිලෝමීටර 30ක පමණක් දුරක් තිබේ. ඇඹිලිපිටිය නගරයටද කිලෝමීටර 30 කට ආසන්න දුරක් තිබේ. ක‍්‍රීඩාංගණයේ සිට අවම වශයෙන් හම්බන්තොට නගරයට තරග පැවැත්වෙන දිනවලදී තරගය ආරම්භ වීමට පෙර සහ තරගය අවසන් වීමෙන් පසු බස් රථ පහසුකම් ලබාදෙන්නේ නම් සූරිවැව ක‍්‍රීඩාංගණයද ප්‍රේකයන්ගෙන් පිරෙනු ඇත. මෙම ක‍්‍රීඩාංගණය විවෘත කළ 2011 වසරේ ලෝක කුසලාන තරගාවලිය පැවැති අවස්ථාවේදී ප්‍රේකයන්ගේ ගමන් පහසුව සඳහා ජාතික ගමනාගමන මණ්ඩලයේ බස් යොදවා තිබුණද ඉන්පසුව එවැනි දෙයක් දැකිය නොහැකි විය. ඉන්පසුව පැවැති ඇතැම් තරග නැරඹීමෙන් පසුව ඇතැම් ප්‍රේක කණ්ඩායම් හම්බන්තොට දක්වා එසේ නැත්නම් ඇඹිලිපිටිය දක්වා අලුයම දක්වා පාගමනින් ළඟාවන ආකාරය දැකිය හැකි විය.

ක‍්‍රීඩාංගණයේ ඉදිරියෙන් ඇති ප‍්‍රධාන මාර්ගයේ සිට පස්වරු 5.30න් පසුව සූරියවැවට හෝ හම්බන්තොටට යෑමට පොදු ප‍්‍රවාහන බස් රථ නොමැත. ඉන්දියාවේ කටාක් එසේ නැතිනම් ධර්ම්සාලා සහ අබුඩාබි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණවල පිහිටීම දෙස බැලීමේදී වුවද සූරියවැව ක‍්‍රීඩාංගණයට ළඟාවීම එතරම් අපහසු නොවන බව මාගේ මතයයි. සූරියවැව සහ අවට හම්බන්තොට, දෙබරවැව, අම්බලන්තොට, හුංගම, තංගල්ල, වීරකැටිය සහ දික්වැල්ල ආදි ප‍්‍රදේශවල පාසල් රුසක් ක‍්‍රිකට් ක‍්‍රීඩාකරන අතර එම පාසල්වල ප‍්‍රයෝජනයට මෙම ක‍්‍රීඩාංගණය පහසුවෙන් යොදාගත හැකිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පාලකයන්ට එවැනි සැලැස්මක් නැත.

මහින්ද රාජපක්‍ෂ මහතා නැවත අගමැති වීමෙන් පසුව ක‍්‍රිකට් බලධාරීන්ට සූරියවැව ක‍්‍රීඩාංගණය නැවත මතක්වීම හාස්‍යය දනවන්නකි.      

 භාසුර

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00