2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ පාපන්දු පිලට “ඇලජික්” පුහුණුව

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා වැඩ ආරම්භ කළේය. මෙම පත්වීම ‘හිසේරදයට කොට්ටෙ මාරු කරනවා’ වැනි තීරණයකි. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ වර්තමාන කඩා වැටීමට එහි පුහුණුකරු මෙන්ම හිටපු සහ වර්තමාන පාපන්දු පරිපාලනය අනිවාර්යයෙන් වගකිව යුතුය.

හිටපු ජාතික පුහුණුකරු නිෂාම් පකීර් අලී මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කිරීමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අඩියටම තල්ලු කළේ යැයි විවේචන එල්ලවන පකීර් අලී මහතා මෙවැනි වඩාත් වගකීමක් ඇති තනතුරකට පත්කිරීම හාස්‍ය දනවන තීරණයකි. වර්තමාන පාපන්දු පාලකයන්ට හිතවතුන්ට ජීවත්වීමේ මාර්ග සලසාදීම මිස පාපන්දු ක‍්‍රීඩාව ඉහළට එසවීමේ කිසිදු උවමනාවක් නැති බව මෙම තීරණවලින් නැවතත් පැහැදිලි වේ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් පුහුණුකරුවන් සඳහා ලබාදෙන ඉහළතම බලපත‍්‍රය පකීර් අලී මහතාට ලබාගැනීමට කටයුතු කරන බවට පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීමත් සමඟ පාපන්දු ප‍්‍රධානීහු ප‍්‍රසිද්ධියේ හාස්‍යයට ලක්වූහ. වයස් සීමාවද ඉක්මවා ගිය අලී මහතා වැනි පුහුණුකරුවන්ට එම බලපත‍්‍රය ලබාදෙනවා වෙනුවට දේශීය තරගාවලිවල ශූරතා දිනාගනිමින් හැකියාව ප‍්‍රදර්ශනය කරන පුහුණුකරුවන්ට එම බලපත‍්‍රය ලබාදීම වඩාත් ප‍්‍රයෝජනවත් බව එහිදී මාධ්‍යවේදීහු පෙන්වා දුන්හ.  

නව පුහුණුකරුට කටයුතු කිරීමට සිදුව ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකා පාපන්දු පිටියේ සිටින ක‍්‍රීඩකයන්ටම වන අතර එම ක‍්‍රීඩකයන්ගෙන් ක‍්‍රීඩාව ගොඩනැගීමට කොතරම් දායකත්වයක් ලැබේද යන්න නිශ්චිතව කිව නොහැක. ඒ හේතුවෙන් වර්තමාන පාලකයන් කළ යුත්තේ කෙටිකාලීන විසඳුම් සෙවීම නොව අවම වශයෙන් අර්ධකාලීන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමය. එසේ වුවහොත් ශ්‍රී ලංකාවට තවත් අවුරුදු පහකින් හෝ දහයකින් ජය ලැබිය හැකි කණ්ඩායමක් සකස්කරගත හැකිවනු ඇත. 

 වරකාගොඩ ගමගේ