2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

සාග් උළෙලේ ශ්‍රී ලංකා පිලේ ගැටලුවලට හේතු එළියට

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 105

• නිලධාරීන්ගේ අඩු දැනුම
• ක්‍රීඩා අමාත්‍යාංශයේ කඹ ඇදීම්

නේපාලයේදී පැවැති 13 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට (සාග්) ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ සිට තරගාවලියේ අවසානය දක්වා උද්ගත වූ ගැටලුකාරී තත්ත්වයන්ට ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් මෙවැනි ක‍්‍රීඩා උළෙලක සංවිධාන කටයුතු පිළිබඳව තිබූ අඩු දැනුම සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ කණ්ඩායම් කීපයක් අතර පැවැති කඹඇදීම ප‍්‍රධානතම හේතුවක් ලෙස ග්‍රෙගරි ද සිල්වා කමිටුව හෙළි කරගෙන ඇති බව වාර්තා වේ. 

දකුණු අසියානු ක‍්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සහභාගිත්වය හා සමාලෝචනය කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් ක‍්‍රීඩා විද්‍යාව, ක‍්‍රීඩා පරිපාලනය, මානව සම්පත් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂඥයකු මෙන්ම ඇමරිකානු බලපත‍්‍රලාභී මලල ක‍්‍රීඩා පුහුණුකරු සහ විනිසුරුවකු වන ග්‍රෙගරි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුවක් පත්කර ලදී.

ශ්‍රී ලංකා කණ්ඩායම සාග් ක‍්‍රීඩා උළෙලට පිටත්ව යෑම පෙර සහ ක‍්‍රීඩා උළෙල අතරතුරදී මුහුණ දුන් ගැටලුකාරී තත්ත්වයන්ට ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව අතර පැවැති විරසකය ද හේතු වූ බව එම කමිටුවට නීරීක්‍ෂණය වී ඇති බව දැනගන්නට තිබේ. දකුණු අසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට පෙර, තරගාවලිය පැවැති කාලය සහ ඉන්පසුව, ඊට අදාළ ජාතික ක‍්‍රීඩා සංගම් හා රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකාරී දායකත්වය, අනාවරණය වූ විශේෂ දක්‍ෂතා, වැදගත් කරුණු හෙළි දැක්වීම මෙන්ම අඩුපාඩු හෝ දුර්වලතා පැවැතියේද යන්න සොයා බැලීම මෙම ග්‍රෙගරි ද සිල්වා කමිටුවට පැවරී තිබේ. ඉහත කරුණ සම්බන්ධයෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, පුහුණුකරැවන්, කළමනාකරුවන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු තොරතුරු ඇති  ඕනෑම පුද්ගලයකුට කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමේ අවස්ථාව හිමිව තිබේ. 

මෙවර සාග් ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සඳහා ක‍්‍රීඩා තෝරාගැනීම, ක‍්‍රීඩා කණ්ඩායම් තෝරාගැනීම, පුහුණුකරුවන්, කළමනාකරුවන් සහ සෙසු නිලධාරීන් තෝරාගැනීම යන බොහෝ අවස්ථාවලදී ගැටලුකාරී තත්ත්වයන් උද්ගත විය. ඉන්පසුව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇතුළත් 900කට ආසන්න ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට පිටත්ව යෑමේ සිට ක‍්‍රීඩා උළෙලට සහභාගි වීම දක්වා ගැටලුකාරී තත්ත්වයන් වාර්තා විය. 

ක‍්‍රීඩා උළෙල අවසානයේ ශ්‍රී ලංකාවේ ඇතැම් ක‍්‍රීඩා සම්බන්ධයෙන් තරග පාවාදීමේ සිද්ධීන් හතරක්ද සමාලෝචන කමිටුවට වාර්තා වී ඇති බව දැනගන්නට තිබේ. ක‍්‍රීඩා තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාවද නිවැරදි තෝරා ගැනීමක් කර නොමැති බවත් දකුණු ආසියානු ක‍්‍රීඩා ප‍්‍රතිපත්තිය අනුව ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා තෝරාගෙන ඇත්තේද යන සැකය කමිටුවට මතු වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩා කණ්ඩායම් තෝරාගැනීමේදී ජාතික ක‍්‍රීඩා සභාව සහ ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව යන ඒකක දෙකේ ප‍්‍රධානීන් සහ නිලධාරීන් වගකීම නිසිආකාරයෙන් ඉටුකර ඇත්තේද යන සැකය මෙහිදී මතු වී තිබේ. එවැනි වැරදි මින් ඉදිරියට නොවීමට ජාතික ක‍්‍රීඩා සභාව සහ ජාතික ක‍්‍රීඩා තේරීම් කමිටුව සම්බන්ධයෙන් වැදගත් නිර්දේශ රුසක් ලබාදීමට කමිටුව සූදානම් සිටින බව වාර්තා වේ. පුහුණුකරුවන් සහ කළමනාකරුවන් තෝරාගැනීමේදී සුදුස්සාට සුදුසු ක‍්‍රීඩා හෝ රාජකාරිය පවරා නොමැති බව කමිටුවට නිරීක්‍ෂණය වී ඇති බව දැනගන්නට තිබේ. ඇතැම් ක‍්‍රීඩාවල නිරීක්‍ෂකයන් ලෙස එම ක‍්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයන් පත්කර තිබූ බව කමිටුව කළ සොයා බැලීමේදී අනාවරණය වී තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යෑමේදී ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගුවන් යානයක් වෙන්කර නොගැනීමෙන් මූල්‍යමය පාඩුවක් සිදුවී ඇතැයි ද කමිටුවේ නීරීක්‍ෂණයට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම සමාලෝචන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දමින්ද විජේසූරිය, සමන් කුමාර ගුණවර්ධන සහ එල්මෝ පෙරේරා යන මහත්වරු කටයුතු කරන අතර එම කමිටුව සිය පරීක්‍ෂණ වාර්තාව ඉදිරියේදී ක‍්‍රීඩා අමාත්‍යවරයාට බාරදීමට නියමිතය.

 වරකාගොඩ ගමගේ