2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

පිටරට ක්‍රීඩකයෝ තරගයේ : අපේ දක්ෂයෝ බංකුවේ

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 154

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගාවලියේදී විදේශීය ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමෙන් දේශීය තරුණ ක‍්‍රීඩකයන්ගේ අවස්ථාව අහිමිවීම හෝ දේශීය ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු ක‍්‍රීඩා කිරීමෙන් තරුණයන්ට අත්දැකීම් ලබාගැනීමට ඇති අවස්ථාව හෝ මෙම අවස්ථා දෙකම හෝ අහිමිවන බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ. විදේශීය ක‍්‍රීඩකයන්ට ‘බී’ කාණ්ඩයේ අවස්ථාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් මෙසේ අදහස් දැක්වීය.

“ඉන්දියාවේ සහ පාකිස්තානයේ ජාතික කණ්ඩායම් නියෝජනය කළ තැනක ඉන්න ක‍්‍රීඩකයො එනවා නම් අපිට මොනව හරි ගන්න පුළුවන්. නමුත් මේ ඇවිත් එන්නේ කවුද? සමහර ක‍්‍රීඩකයෝ ක්ලබ්වලට ඇවිත් පිංසෙන්ඩු වෙනවා.”

“අපේ රටේ ෆාස්ට් බෝලර්ස්ලා නෑනේ. ඇයි ඉතින් අපි වෙන රටවල්වලින් ෆාස්ට් බෝලර්ස්ලා ගෙන්නලා ගස්සන්නේ. අපි කරන්න ඕනේ අපේ ෆාස්ට් බෝලර් කෙනෙක් හදන එකනේ. ඒ වගේ ක‍්‍රීඩකයෙක් හදන අවස්ථාවනේ මේ පිටරට ක‍්‍රීඩකයන්ට දීලා තියෙන්නේ.”

“ඇයි අපි දඟපන්දු යවන්නන් උඩින් පාත් කරන්නේ. අපේ තරුණයො හදාගන්න පුළුවන්නේ.”

“තරුණ ක‍්‍රීඩකයෝ මෙතන ගහලා සංචිතයකට යනවානේ. ඊට පස්සේ එතන තරගවලට ක‍්‍රීඩාකරලා දස්කම් වැඩි කරගන්නවා. මහේල ජයවර්ධන ජාතික කණ්ඩායමට ආපු ගමන්ම සාර්ථක වුණේ නෑනේ. ගහලා ගහලා තමයි ස්ටෑන්ඩඩ් එක හදාගත්තේ.”

පළමු පෙළ ‘බී’ කාණ්ඩයේ තරග කරන කණ්ඩායම් 12න් 11කම මේ වනවිට විදේශීය ක‍්‍රීඩකයන් දෙදෙනා බැගින් ක‍්‍රීඩා කරන බව වාර්තා වේ. කොළඹ ප‍්‍රධානතම ක‍්‍රීඩා සමාජයක් වන බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට පමණක් මේ දක්වා විදේශීය ක‍්‍රීඩකයන් ඇතුළත්ව නොමැති බව දැනගන්නට තිබේ. ඒ අනුව එක සතියකදී දේශීය ක‍්‍රීඩකයන් 22 දෙනකුට අවම වශයෙන් අවස්ථාව අහිමිවේ. පළමු පෙළ තරගාවලියට සහභාගි වීම සඳහා මේ වනවිට ඉන්දීය සහ පාකිස්තානු ක‍්‍රීඩකයන් 30කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටිති. ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන ක‍්‍රීඩා සමාජ කීපයකද විදේශීය ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා කරති. මෙම විදේශ ක‍්‍රීඩකයන් ශ්‍රී ලංකා ආර්ථිකයට සහ දේශීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ ආර්ථිකයටද දැඩි බලපෑමකි.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පිරිසක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කිරීමේ ප‍්‍රතිඵලයෙන් මෙවර තරගාවලියේ සිට තරග දීමනාව ඉහළ නැංවා ගැනීමට සමත්වූහ. එම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ උත්සාහයේ ප‍්‍රතිඵලය මේ වන විට පිටස්තරයන් පිරිසක් බුක්ති විදින තත්ත්වයක් නිර්මාණය වී තිබේ. පළමු පෙළ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් සඳහා දීමනාව ලෙස රුපියල් 50,000ක පමණ මුදලක්ද, ‘බී’ කාණ්ඩයේ තරගයක් වෙනුවෙන් රුපියල් 30,000කට ආසන්න මුදලක්ද ලැබේ. ක‍්‍රීඩකයන්ගේ තරග ගාස්තු ගෙවීම ඇතුළු වියදම් සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා සමාජයකට රුපියල් ලක්‍ෂ 190 පමණද, ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා සමාජයකට රුපියල් ලක්‍ෂ 150 ක පමණ ද, අති දැවැන්ත මුදලක් ලබාදෙයි. 
එම ක‍්‍රීඩකයන් ඇතුළත් කණ්ඩායම ක‍්‍රීඩකයෙක් ‘දේශය’ට මෙසේ අදහස් දැක්වීය. 

“අපේ කණ්ඩායමෙත් දෙන්නෙක් ඉන්නවා. ඔවුන්ට වැඩි හොඳ අපේ ක‍්‍රීඩකයෝ බංකුවේ ඉන්නවා. මේක මහ අපරාධයක්. ක‍්‍රීඩා සමාජ මේක ලොකුකම පෙන්නන අවස්ථාවක් බවට පත්කරගෙන තිබෙනවා. ඇවිල්ල ඉන්න ඇතැම් ෆොරින් ක‍්‍රීඩකයෝ මුදල් නැතුව වුණත් ගහන්න කැමතියි. ඒ මොකද එයාට ඕනේ ෆස්ට්ක්ලාස් ගැහුවා කියලා පෙන්නලා එංගලන්තෙ යන්න” යැයි එම ක‍්‍රීඩකයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප‍්‍රකාශවලින් මෙම ක‍්‍රීඩකයන්ගේ ඔවුන්ගේ රටවල්වල ක‍්‍රිකට් මට්ටම මනාව පැහැදිලි වේ. ඇතැම් කණ්ඩායම්වලට ක‍්‍රීඩා කරන විදේශීය ක‍්‍රීඩකයන් වයස 35 හෝ 40 ඉක්මවූ අය වෙති.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු පෙළ කණ්ඩායමකට විදේශීය ක‍්‍රීඩකයන් දෙදෙනකුට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. එය ‘ඒ’ කාණ්ඩයට ලබාදීම එතරම් ප‍්‍රශ්නයක් නොවුණද ‘බී’ කාණ්ඩයට අවසර ලබාදීම ජාතික අපරාධයකි. මෙම ‘බී’ කාණ්ඩය තුන්දින පළමු පෙළ තරගාවලියක් බවට පත්කිරීමේ ප‍්‍රධාන අරමුණු දෙකක් තිබුණි. ඉන් එකක් වූයේ පාසල් වයස් සීමාවෙන් පසුව අන්තර් සමාජ පිටියට එන ක‍්‍රීඩකයන්ට පළමු පෙළ තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව ලබාදීමය. අනෙක් අරමුණ වූයේ එංගලන්ත ක‍්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි වීමට පළමු පෙළ ක‍්‍රීඩා කර තිබීම ප‍්‍රධාන සුදුසුකම වීම නිසා එම සුදුසුකම සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබාදීමය. 

මෙම විදේශීය ක‍්‍රීඩකයන් 20 කට පමණ අවස්ථාව ලබාදීමෙන් මෙරට ක‍්‍රීඩකයන් රැසකට හැකියාවේ අවස්ථාව සහ මූල්‍ය දීමනා ලැබීමේ අවස්ථාව අහිමිකර තිබේ. ශ්‍රී ලංකාව තුළ  ඕනෑතරම් දක්‍ෂ ක‍්‍රීඩකයන් සිටියද නිසි කළමණාකරණයක් නොමැති වීමෙන් පැරෂුට්කරුවන් බැස්වීමට අනුමැතිය දී තිබේ.           

 යොහාන් භාසුර

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00