2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

ක්‍රිකට් පරිපාලනයේ රෙදි ගැලවූ නිලධාරිනිය යළි ගෙන්වා පුටුව දීලා!

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 163

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් නෙරපා දැමූ සේවිකාවක් ආණ්ඩු පෙරළියත් සමඟ නැවත හිටපු පුටුවටම පැමිණීම පිළිබඳව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහක් නිර්මාණය වී තිබේ. ඉහළ දේශපාලන අතපෙවීමක් හේතුවෙන් ඇය නැවත සේවයේ පිහිටුවා ඇති බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ සේවිකාව පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයකු වෙනුවෙන් වේදිකාවල කාලය ගතකළ බැවින් දේශපාලන අතපෙවීම් පිළිබඳ කථාද එක එල්ලේ බැහැර කළ නොහැක.

ආණ්ඩු පෙරළියත් සමඟ අදාළ කාන්තාව ඇයගේ හිතවත් දේශපාලන බලවතාගෙන් සංවිධායක ධූර ආදිය ඉල්ලා ඇති අතර ඉන් ගැලවීම සඳහා හිටපු පුටුවේම වාඩිකර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් ප‍්‍රධානීන්ද මායිම් නොකරන ඇය ‘රැජිණක්’ සේ කටයුතු කරන බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ක‍්‍රීඩිකාවන් තිදෙනකු සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියක් අනාවරණය කිරීම හේතුවෙන් ක‍්‍රිකට් පරිපාලනය තමන්ගේ සේවය දීර්ඝ නොකළ බවට අදාළ සේවිකාව පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් ප‍්‍රසිද්ධියේ දැඩි විවේචනයට ලක් කළාය. එම විවේචනය කරන අවස්ථාවේදී ඇය පවසා සිටියේ එම ක‍්‍රීඩිකාවන්ට සාධාරණය ඉටුවන තෙක් සටන් කරන බවයි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ එහි ප‍්‍රධානීන් ප‍්‍රසිද්ධියේ විවේචනය කළ පුද්ගලයකු කිසිදු වග විභාගයකින් තොරව නැවත සේවයේ පිහිටුවූයේ කෙසේ යන ප‍්‍රශ්නයට ක‍්‍රිකට් බලධාරීන් පිළිතුරු සැපයිය යුතුය. අදාළ සේවිකාව දේශපාලන බලයෙන් පැරණි පුටුවට ඒම වැළැක්වීමට ක‍්‍රිකට් බලධාරින් වෙනත් නිලධාරියකු එම තනතුරට පත්කළද ඔහු මේ වන විට රෝගීව සිටීම නිසා කිසිදු බාධාවකින් තොරව ඇයට නැවත ඒමේ අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය දේශපාලන බලය යටත්ව ඇති බව මෙහිදී වඩාත් පැහැදිළි වන කරුණකි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් එහි සේවකයන්ට හැඳි කීපයකින් බෙදන බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ. නිවාඩු ලබා නේපාලයේ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී මාලදිවයින් කාන්තා ක‍්‍රිකට් පිලේ තාවකාලික පුහුණුකාරිය ලෙස කටයුතු කළ සේවිකාව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ක‍්‍රිකට් බලධාරීන් ක‍්‍රිකට් පරිපාලනය පට්ට ගැසූ සේවිකාව හිටපු පුටුවේම වාඩිකර තිබේ.

මාලදිවයින් පිලේ පුහුණුකාරිය ලෙස කටයුතු කළේ යැයි සේවයෙන් ඉවත් කළ සේවිකාව ජාතික කාන්තා ක‍්‍රිකට් පිල නියෝජනය කරමින් මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පුහුණුකාරියක සහ විනිසුරුවරියක හැටියට වාර්තා තැබූ කාන්තාවකි. එම පුහුණුකාරිණිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දේශපාලන බලයෙන් ලොකු පුටුවේ වාඩිවූ සේවිකාවට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳව කිසිදු දැනුමක් නොමැති අතර ක‍්‍රිකට් තරග නරඹා තිබීම පමණක් ඇයගේ එකම සුදුසුකම වේ. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලේකම්වරියන් ලෙස බඳවාගත් ඇතැම් කාන්තාවන් සහකාර කළමනාකරුවන් ලෙස උසස් කරමින් වැටුප් වැඩි කිරීමේ මෙහෙයුමක්ද මේ වනවිට ක‍්‍රියාත්මක වන බව දැනගන්නට තිබේ. “වැටත් නියරත් ගොයම් කා නම් ඒ ගැන මොනවා කථා කරන්නද?” යැයි පමණක් කිව හැකිය.

විශේෂ ලියුම්කරුවකු විසිනි