2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ක්‍රිකට් ක්‍රීඩාව උණුවතුරේ

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 198

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය මේ වනවිට දෙකොණ ඇවිළුණු විලක්කුවක් වැනිය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වනවිට ගැටලු රැසකට මැදිහත්ව සිටීම හරහා එම විලක්කුව ඇවිළෙමින් තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමේ සූදානමක් පවතින බවට ද ක‍්‍රිකට් පරිපාලනයේ සිටින පුද්ගලයන් තුළම දැඩි සැකයක් මතුවී තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වඩාත් නමගිය හිටපු සභාපතිවරයා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා විධායක කමිටුවෙන් ඉවත් කිරීමට එරෙහිව නඩු පැවරීම, ජාතික කණ්ඩායමේ හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා රුපියල් කෝටි 200 කට ආසන්න වන්දියක් ඉල්ලා සිටීම, රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ගනුදෙනුව සහ ලසිත් මාලිංග විස්සයි20 ක‍්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉවත් කිරීම ආදී පරිපාලනයමය ගැටලු රැසක් හේතුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය උණුසුම් වී තිබේ.

‘‘බෝඩ් එකටත් අතුරු කමිටුවක් දාන්න යනවා කියනවා නේද?’’ යැයි ක‍්‍රිකට් පරිපාලනයේ සිටින පුද්ගලයෝ ප‍්‍රශ්න කරති. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අතුරු කමිටු පැවැති කාලයේ එහි ක‍්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයා ලෙස කටයුතු කළ නිලධාරියකු ක‍්‍රීඩා අමාත්‍යංශයේ නව ලේකම් රුවන්චන්ද්‍ර සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් ස්ථාන මාරුවක් ලැබුවේ යැයි කියන සිද්ධියක් මෙම අතුරු කමිටු මාතෘකාවට ප‍්‍රස්තුතය බවට පත්ව තිබේ.

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ක‍්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමට අවස්ථා කීපයකදී උත්සාහ ගත්ත ද එය අසාර්ථක විය. හිටපු ඇමතිවරයා එක් අවස්ථාවකදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සභාපතිවරයා ඉන්දියාවට ගොස් මුණගැසී අතුරු කමිටුවක් පිළිබඳව සාකච්ඡා කළ බව ද එවකට වාර්තා විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයට අතුරැ කමිටු පත්කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විරෝධ පළකිරීම නිසා හරීන් ප‍්‍රනාන්දු මහතාගේ උත්සාහය අපතේ ගියේය.

එවැනි තත්ත්වයක් තුළ වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අහප්පෙරුම මහතා අත පුච්චා ගැනීමට උත්සාහ කරනු ඇතැයි විශ්වාස කළ නොහැක. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ආසන්තම හිටපු සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා විධායක කමිටුව නියෝජනය කිරීම හිටපු ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් පසුගිය වසරේ අග භාගයේදී තහනම් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව තමන් විධායක කමිටුව නියෝජනය කිරීම අවලංගු කිරීමට එරෙහිව සුමතිපාල මහතා මේ වනවිට අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බව වාර්තා විය. මෙම සිද්ධියේම දිගුවක් ලෙස පසුගිය ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී එනම් පසුගිය වසරේ නොවැම්බර් මස 11 වැනිදා ක‍්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතක් ද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.

වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පළමු මාධ්‍ය හමුවේදී පවසා තිබුණේ එම පනතේ වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ අනුව සුමතිපාල මහතාට නැවත ක‍්‍රිකට් පරිපාලනයට පැමිණීමට වර්තමාන රජයේ සහයෝගයක් නොමැති බව පෙනෙයි. චන්දික හතුරැසිංහ මහතා එන්තරවාසියක් මගින් ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති වන්දිය සම්බන්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නීතිමය කටයුතු සඳහා මේ වනවිට නීතිඥයන්ට බාරදී තිබේ. හතුරුසිංහ මහතා සම්බන්ධ සිද්ධියේදී කටයුතු කිරීමට විදේශ නීතිඥයන්ගේ සේවය ලබාගැනීමට ද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සූදානම් වන බව දැනගන්නට තිබේ.

රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු පස්දෙනකු මේ වනවිට ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පසු බෑම රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ගනුදෙනුවට සෘජු බලපෑම් කර ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් විස්සයි20 පිලේ නායකත්වයෙන් මාලිංග ඉවත්කරන ලෙස ඉදිරිපත්වී ඇති යෝජනා සම්බන්ධයෙන් ක‍්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

නව රූපවාහිනී විකාශන අයිතිය පැවරීමේ ගිවිසුම ලබන මාර්තු මස සිට ක‍්‍රියාත්මක වන බැවින් ඊට පෙර මාලිංග නායකත්වයෙන් ඉවත් කර දසුන් ශානක පත්කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෙම ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලිහාගත නොහැකි තරමේ නූල් බෝලයක් මෙන් ගැටලු රැසක පැටලී තිබේ.
► යොහාන් භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00