2020 ජනවාරි 18 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට ගොඩඑන්න හොඳ අවස්ථාව!

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම වසර තුනකට වැඩි කාලයකට පසුව සිම්බාබ්වේහි ටෙස්ට් තරගාවලියක් අද (19) ආරම්භ කරයි. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ තරග දෙකම සුපුරුදු පරිදි හරාරේහිදී පැවැත්වේ. ශ්‍රී ලංකා පිල පාකිස්තානයේ ලැබූ ටෙස්ට් තරග පරාජයත් සමඟ ඇති වූ පසුබෑමෙන් ගොඩඒමට මෙම තරගාවලිය වඩාත් වැදගත් වී තිබේ. තවද සිම්බාබ්වේ හමුවේ තමන් රුකගෙන ඇති අපරාජිත වාර්තාවද ශ්‍රී ලංකාව සිතේ තබාගත යුතුය. 

ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් සිම්බාබ්වේ හමුවේ පරාජයට පත්ව නොමැත. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ටෙස්ට් තරග 18ක් මේ දක්වා පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරග 13ක් ජය ලබා තිබේ. තරග 5ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. පාකිස්තානු සංචාරය අහිමිවූ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් මෙම සංචාරයට එක්ව සිටීම ශ්‍රී ලංකා පිලට ශක්තියක් බවට පත්ව තිබේ.   

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න යන ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ට මෙම තරගාවලියේදී වැඩි වගකීම් පැවරේ. ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක වුවහොත් සුරංග ලක්මාල් සහ ඩිල්රුවන් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන්ට සිම්බාබ්වේ පිතිකරුවන් පාලනය කිරීමේ හැකියාව ලැබේ. ශ්‍රී ලංකා සංචිතය සතුව පිතිකරුවන් රැසක් සිටීම නිසා ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කුසල් පෙරේරා ඉදිරියේදී එක්දින සහ විස්සයි20 තරගවලට පමණක් සහභාගි කරවීම තේරීම් කමිටුවේ සැලැස්ම වී ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකාව අවසන් වරට සිම්බාබ්වේහිදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වූයේ 2016 වසරේ නොවැම්බර් මාසයේය. රංගන හේරත්ගේ නායකත්වයෙන් එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිල 2x0 කින් තරගාවලිය ජය ලැබීය. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අවසන් ටෙස්ට් තරගය 2017 වසරේ ජූලි මස කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජය ලැබීය. එම තරගාවලියට සහභාගි ශ්‍රී ලංකා සංචිතයේ ක‍්‍රීඩකයෝ රැසක් මෙම තරගාවලියට ද සහභාගි වී සිටිති. 

මෙම සටහන තබන මොහොත වනවිටත් සිම්බාබ්වේ සංචිතය නම් කර නොතිබුණි. 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඕෂධ ප‍්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්‍ෂාන් සඳකැන්

 වරකාගොඩ ගමගේ