2020 ජනවාරි 18 වන සෙනසුරාදා

සාග් ක්‍රීඩා කණ්ඩායමේ දුක්ගැනවිල්ල

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

“ඇමතිතුමා අපිට සාග් ක‍්‍රීඩා උළෙලේදී මීට වඩා පදක්කම් දිනන්න තිබුණා. මේවා සංවිධානය කරපු අයගෙ වැඩ නිසා තමයි මෙහෙම වුණේ. වියදම් කරපු සල්ලි සම්පූර්ණයෙන් වියදම් කළේ නෑ. සල්ලි සමහරැන්ගේ සාක්කුවලට ගියා” යැයි ඇතැම් ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා අමාත්‍යවරයා හමුවේ හෙළිකළ බව දැනගන්නට තිබේ.

එහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පහසුකම් නිසියාකාරව නොලැබුණු බවත් බලධාරීන් විශාල මූල්‍ය අක‍්‍රමිකතා කළ බවත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පැමිණිලි කළ බව වැඩිදුරටත් දැනගන්නට තිබේ. මෙහි වඩාත් බරපතළ තත්ත්වය බවට පත්ව ඇත්තේ නිලධාරීන් ක‍්‍රීඩා උපකරණවලින් පවා මුදල් වංචාකළ බවට ක‍්‍රීඩා අමාත්‍යවරයා හමුවේ හෙළිවීම බව ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ.

සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා අතර ක‍්‍රීඩා අමාත්‍යංශයේදී විශේෂ හමුවක් පසුගියදා පැවැත්විණි. එහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සාග් ක‍්‍රීඩා උළෙලේ සිදුවීම් ක‍්‍රීඩා අමාත්‍යවරයා හමුවේ නිදහසේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණි. ක‍්‍රීඩා දිවිය තුළ තමන්ට මුහුණ දෙන්නට සිදුවන අභියෝග, අසාධාරණකම් හා අක‍්‍රමිකතාවයන් නොබියව අනාවරණය කරන ලෙසත්, පුද්ගලයා හෝ තරාතිරම නොබලා එවැනි ගැටලු මතුකරන කවර හෝ අයගෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැකගැනීමට තමා නිරන්තරයෙන් පෙනී සිටින බවත් ක‍්‍රීඩා අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.   

සාග් ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමේදී ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව අතර ගැටුම්කාරී තත්ත්වයක් පැවැති බව ප‍්‍රසිද්ධ රහසකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතැම් ක‍්‍රීඩා කණ්ඩායම්වලට කත්මණ්ඩු නුවරදී විවිධ අපහසුතාවලට ලක්වීමට සිදුවිය. තවද එහිදී ඩෙංගු උණ වැළඳුණු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නිසි අවධානයක් යොමු නොකළ බවද එහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ක‍්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කර තිබේ. මෙහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිසියම් අවශ්‍යතාවක් සඳහා කුමන පාර්ශ්වයට පැමිණිලි කරන්නේද යන ගැටලුවට මුහුණ පෑ බවද හෙළිවී තිබේ.

සාග් ක‍්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසුව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා, ලේකම්වරයා සහ සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා ඇතුළු නිලධාරීන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිළිබඳව තමන් සොයා බැලූ බවයි. ඉන්පසුව පැවැති මාධ්‍ය හමුවකදී ක‍්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් පැවසුවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අපහසුතාවට පත්වීම පිළිබඳ වගකීම කණ්ඩායම් ප‍්‍රධානියා බාරගත යුතු බවයි.

එක් එක් ක‍්‍රීඩා ඉසව්වලින් මෙවර සාග් තරගාවලිය නියෝජනය කළ බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තරග බලධාරීන්ගෙන් සැලකිය යුතු සහයෝගයක් අවධානයක් නොලැබුණු බවත්, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අයත්ව තිබූ පහසුකම් නිසියාකාරව ලබාදෙනු වෙනුවට බලධාරීන් විසින් විශාල මූල්‍ය අක‍්‍රමිකතා සිදුකරන ලද බවත්, ක‍්‍රීඩා උපකරණ, ඇඳුම් පැළදුම් ආදියට මුදල් වෙන්කර තිබූ නමුත් නිසියාකාරව එම ප‍්‍රතිලාභ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට හිමිවී නොමැති බවත් ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ. 

බලධාරීන් විසින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කෙරෙහි දක්වන ලද අනවධානය, නොසැලකිල්ල, මන්දගාමී බව නිසා යහපත් මානසික ශක්තියක් ඇතිව ආත්මවිශ්වාසයෙන් තරගවලට මුහුණ දීමට බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවස්ථාවක් නොතිබූ බවද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අමාත්‍යවරයා හමුවේ සඳහන් කර ඇති බව වාර්තා වේ. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අමාත්‍යවරයාට පෙන්වා දුන් ‘කළු පැල්ලම්’ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙන්ම සමස්ත ශ්‍රී ලංකා ජනතාවද බලා සිටිති.   

 විශේෂ ලියුම්කරුවකු විසිනි