2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

පාපන්දු ලොක්කෙක් “නොකවුට්”

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

නේපාලයේදී පසුගියදා අවසන් වූ සාග් ක‍්‍රීඩා උළෙලේදී අසාර්ථක වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප‍්‍රධාන නිලධාරියකුට එරෙහිව මූල්‍ය චෝදනා එල්ල වීමෙන් ඔහු තනතුරෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ. කාලයක සිට විවිධ චෝදනා එල්ල වූ මෙම නිලධාරියා ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවකු මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උසස් තනතුරු කීපයක්ම දැරෑ නිලධාරියකු වීමද කැපී පෙනේ.

මෙම නිලධාරියාට සම්බන්ධ මූල්‍ය චෝදනාවලට අදාළ වීඩියෝ සාක්‍ෂි ක‍්‍රීඩකයන් පිරිසක් විසින් පාපන්දු සම්මේලනයට ලබාදීම මෙම ඉවත් කිරීමට ප‍්‍රධාන හේතුව බව දැනගන්නට තිබේ. සාග් ක‍්‍රීඩා උළෙලට පාපන්දු කණ්ඩායම සහභාගි වීමට පෙර එහි පුහුණුකරුට පදක්කමක් දිනාගැනීම ඉලක්කයක් ලබාදී තිබූ බවත් එම ඉලක්කය සම්පූර්ණ නොකළහොත් තනතුරෙන් ඉවත්කරන බවට පාපන්දු බලධාරීන් පවසා තිබූ බවත් වාර්තා විය. 

කෙසේ වුවත් පුහුණුකරු එම ඉලක්කය සම්පූර්ණ කිරීමට අසමත් වෙමින් සාග් ක‍්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගැනීමට අසමත් විය. ශ්‍රී ලංකා සහභාගි වූ පදක්කම් නොලැබූ ක‍්‍රීඩා දෙකෙන් එකක් බවට පාපන්දු පත්විය. එසේ වුවද මෙම සටහන තබන මොහොත වනවිටත් පුහුණුකරු ඉවත්කර නොතිබුණි. ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාව ආසියානු සහ ලෝක මට්ටමින් අඩියට වැටීම සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ පසුගිය වසර කීපයේ පාලනය කළ නිලධාරීන්ට විවේචන එල්ල වෙමින් තිබේ. 

ශ්‍රී ලංකා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 205 වැනි ස්ථානයේ ද, ආසියානු ශ්‍රේණිගත කිරීමේ අවසන් ස්ථානය වන 45 වැනි ස්ථානයේ ද, පසුවෙයි.  

 විශේෂ ලියුම්කරුවකු විසිනි